කොළඹ නගර සභාව කසළ ගැටළුව ගැන මීට වඩා බැරෑරුම්ව පියවර ගත යුතුයි – ඇමති චම්පික රණවක

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආර්ථිකය නංවන ප‍්‍රධාන ජවන ඇන්ජිමක් බවට පත් කරනවා

කැළිණි ගඟ පිළිබඳ බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් ඉදිරියේදී අත්‍යාවශ්‍යයි

කළු ‍ග‍ඟෙන් මුහුදට ගලා ගිය දැවැන්ත පස් කන්ද දැන් විධිමත් සංවර්ධන භූමියක් බවට පසුගිය වසර තුනේදී පත්වෙලා තිබෙන බව අපි ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළ යුතුයි

කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති දෙකකට අපි අවස්ථාව ලබාදී තිබෙනවා. එයින් එක ව්‍යාපෘතියක් මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වීමට නියමිතයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘1968 අංක 15 දරණ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පණත සංශෝධනය කිරීමට තමයි පාර්ලිමේන්තුවේ අනුමැතියට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ. ප‍්‍රධාන වශයෙන්ම මෙහි අරමුණ වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ඒ නාමය වෙනුවට ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන වදන එකතු කිරීමයි ප‍්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. මොකද මේ සංස්ථාව බිහි කරපු වකවානුව තුළ පහත් බිම් ගොඩකිරීමේ අවශ්‍යතාවය සහ ඒවා සංවර්ධනයට යොදා ගැනීමේ අවශ්‍යතාවයට තමයි මුල් වෙලා තිබුණේ. නමුත් දැන් අද තිබෙන මේ පරිසර තත්වයන්, ඒ වගේම පහත් බිම් සහ ඊට අදාල ප‍්‍රදේශවලින් කෙරෙන පරිසර කාර්ය භාරයන්, ඒ එක්කම  නාගරික සංවර්ධනය සමග කෙරෙන කාරනා ගැන කල්පනා කර බලා අප කල්පනා කළා මෙම නාමය මේ ආයතනයට සුදුසු නැහැ කියලා. ඒ අනුව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවට අපි ඉඩම් සංවර්ධන සංස්ථාව නමින් නව නාමකරණයක් කිරීම තමයි මේ පනතේ අරමුණ වෙන්නේ.

මේ ආයතනය ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් නිසා මේ රටේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වැදගත්. පළමුවෙන්ම පාරිසරික පැත්ත. අපි කවුරුත් දන්නවා මේ දේශගුණික විපර්යාශයන්, කාලගුණික විපර්යාසයන් මේ තත්වයන් නිසා ඉතාම අධික වර්ෂා තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම පහත්බිම් ප‍්‍රදේශයක් තෙත් බිම් ප‍්‍රදේශයක් හැටියට බස්නාහිර පළාත ඇතුළු ප‍්‍රදේශ. එම ප‍්‍රදේශවල ගංවතුර පාලනය කියන එක අද අත්‍යාවශ්‍ය කාරණයක් කියන එක පරිවර්ථනය වෙලා තිබෙනවා. 2010 ඇතිවෙච්ච වර්ෂා තත්වයත් සමග අපේ පාර්ලිමේන්තුවත් ගංවතුරට යටවුණා. පැති දෙකකින් අපට අවශ්‍ය කරලා තිබෙනවා මේක පාලනය කරන්න. එකක් ඒ වතුර රඳවා ගැනීමේ ශක්තිය වැඩිදියුණු කරන්න. ඒ වතුර මුහුදට ගලා යන ක‍්‍රියා මාර්ග වේගවත් කරන්න. ඒ වගේම මුහුදට හෝ ඇලමාර්ගවලට හෝ කැළණි ගඟට යන මාර්ගවල තිබෙන බාධක ඉවත් කරන්න. ඒ සඳහා වූ සංවර්ධන කි‍්‍රයාදාම යොමු කරන්න එක පැත්තකින්.

අනෙක් පැත්තෙන් නිවැරදි ගංවතුර පිළිබඳව පුරෝකථනයන් කරන්න. අද අපි මේ දෙක සම්බන්ධයෙන්ම පියවර ගෙන තිබෙනවා. අපි රියල්ටයිම් ක්‍රෙඩික්ෂන් සෙන්ටර් එකක් ඇතිකරගෙන යනවා. එමගින් අපට අද අහැකියාව ලැබෙනවා  ඕනෙම ගංවතුරක් පිළිබඳව පැය 18 කට, ඒ වගේම පැය 3 කට කලින් නිරවද්‍ය අනාවැකි පළකරන්න. අපි හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව හෝ ඒ අවට තිබෙන ගොඩනැගිලිවලට හෝ වෙනත් ගොඩනැගිලිවලට අනතුරක් තිබෙනවා නම් ඒ බව අපට දැනුම් දෙන්න පුළුවන්. පසුගිය කාලයේ එවැනි අනතුරක් ඇති නොවුනේ පුරෝකථනයන්ගේ විද්‍යාත්මක භාවය ඇතිකර ගත් නිසා ලබන වසර වන විට සම්පූර්ණයෙන් ඒ පිළිබඳවම වෙච්ච විශේෂ මධ්‍යස්ථානයක් ඉඳිකර පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අනෙක් පැත්තෙන් අපේ තෙත්බිම් ප‍්‍රදේශ ආරක්‍ෂා කරගෙන එහි කෙරෙන පරිසර කාර්යය භාරය වැඩිදියුණු කිරීම. අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ගත් පියවර නිසා මේ කොළඹ වගේම අගනගර ප‍්‍රදේශය රැම්සා තෙත් කලාපයක් හැටියට අන්තර්ජාතික පිළිගැනීමකට ලක්වුණා. එසේ පිළිගැනීමට ලක් වූ අගනගර ප‍්‍රදේශ බොහොම අතලොස්සක් තිබෙනවා. ඒක අපි අඛණ්ඩව ආරක්‍ෂා කර ගත යුතු වෙනවා. මේ මෑතදී ජාත්‍යන්තර ඇනිමල් ප්ලැනට් නාලිකාව තුළ අපේ පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශයේ වයිල්ඩ් කැට්ස්ලා 48 දෙනෙක්ගේ පැවැත්ම පිළිබඳව කටයුතු කර තිබෙනවා. අද අපි පාර්ලිමේන්තුවට නුදුරු භූමිය දියසරු උයන නමින් විධිමත් ජීව විද්‍යාත්මක, ඒ වගේම ඒ ජීවීන්ට ජීවත් විය හැකි භෞතික පරිසරයක් ඉදිකිරීමේ කටයුතුත් ගංවතුර පාලනය සඳහා කටයුතුත් අපි කරගෙන යනවා. ඒ එක පැත්තක්.

අනෙක් පැත්ත නාගරීකරණයත් සමග සංවර්ධනය සඳහා විධිමත් ඉඩම් අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ විධිමත් ඉඩම් අවශ්‍යතාවය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමත්, ගංවතුර පාලනය කිරීමත් විධිමත්ව සිදුවිය යුතුයි. අද සිදුවන්නේ අවිධිමත්ව. කුඹුරු ඉඩමක්, පහත් බිමක් තිබෙනවා නම් කැලි කසළ ගෙනත් දාලා එහෙමත් නැත්නම් ගොඩනැගිලි අපද්‍රව්‍ය ගෙනත් දාලා ඒ යනාකාරයෙන් ඒවා ගොඩකරගෙන ගිහින් ගොඩනැගිලි ඉදිකරලා අවධිමත්  කි‍්‍රයාදාමයක් තිබෙන්නේ. විධිමත් ජලබස්නා ක‍්‍රමවේදයකට අනුව ඉඩම් විධිමත්ව සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අපි දියත් කර තිබෙනවා මේ සංස්ථාවට යටත්ව. ඒ තුළින් විධිමත් නාගරීකරණයකට අපි පියවර තබා තිබෙන බව ප‍්‍රකාශ කළ යුතුයි.

ගංවතුර පාලනය ගැන කතා කරනවා නම් දැනටමත් කොළඹ නගරයේ ලෝක බැංකු ආධාර යටතේ නව උමං මාර්ග දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එකක් උතුරු කොළඹ. අනෙක නිදහස් චතුරස‍්‍රයේ සිට බම්බලපිටිය දක්වා. ඒ වගේම ඇළ මාර්ග දෙකක් පොළව යටින් සහ උඩින් යන ආකාරයට දැනටමත් අවසන් කර තිබෙනවා. එකක් කින්සි පාර පැත්තෙන් අනෙක දේවි බාලිකා විද්‍යාලය අසලින් බොරැල්ල කනත්ත හරහා යන ජලප‍්‍රවාහය. ඊ ළඟට කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහළ ගියාට පසුව එම ජලය පොම්ප කිරීම සඳහා පොම්පාගාර තුනක්, නාගලගන්වීදිය, ශාන්ත බස්තියමේ සහ අනෙක කඩුවෙල ප‍්‍රදේශයේ ඉදිකරගෙන යනවා. ඊට අමතරව වෙනත් ආයතන සමගත් අප කටයුතු කරගෙන යනවා.

විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග මේ කටයුත්ත සමග. ඒ වගේම දැනටමත් නුගේගොඩ  සිට කැස්බෑව දෙසට  ඒ ජල ප‍්‍රවාහන පද්ධති විධිමත් කිරීමේ කි‍්‍රයාවලිය කරගෙන යනවා. ඒ කි‍්‍රයාවලියෙන් විපුල ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. පිළියන්දල, බොරලැස්ගමුව ප‍්‍රදේශ ප‍්‍රධාන ගංවතුරවලට යට නොවන තත්වයක් ඇති වී තිබෙනවා. එහි දෙවන ව්‍යාපෘතිය ලෙස අපි කොලොන්නාව තෝරගෙන, කොලොන්නාව කිත්තම්පහුව ඇල සහ අනෙකුත් දේවල් ප‍්‍රතිසංස්කරණය කරගෙන යනවා කොලොන්නාව ගංවතුර උවදුර පාලනය කිරීමට. එහි තෙවන පියවර ලෙස පෑලියගොඩ වත්තල ප‍්‍රදේශය ආශ‍්‍රිත ගංවතුර පාලන වැඩපිලිවෙල රජයේ අරමුදල්වලින් කරගෙන යනවා.

ඊට අමතරව මේ රටේ බොහෝ දෙනෙක් ප‍්‍රශ්න නගපු බේරේ වැව සහ ඒ අවට කලාපය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. එහි ජීවත් වූ ඉතාම අන්ත දුගී පැල්පත්වාසී පිරිස්වලට අපි විධිමත් නිවාස ලබාදී තිබෙනවා ඒ අයගේ කැමැත්ත ඇතිව කිසිම විරොධයකින් තොරව. ඊ ළඟට බේරේ වැව වටේට පෙත් මගක් ඉදිකිරීමේ කටයුතු දැන් සිදු කරගෙන යනවා. ඒ වගේම බේරේ වැව එහි තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු දැන් සිදුවෙනවා. ලබන වසර වන විට අපට පුළුවන් වෙනවා අලූත් පොම්පාගාරයක් ජනාධිපති කාර්යාලය අසල ඇතිකර මේ බේරේ වැව විටින් විට පිරිසිදු කර ජලය එළියට දැමීමේ කටයුතු සිදු කරන්න. ඒක සම්පූර්ණ දේශීය ඉංජිනේරුවන්ගේ කටයුතු මත සිදු කරන දෙයක් බව අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා.

ඒ වගේම මේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අයිති නැති උනත් කොළඹ නගරයේ 2017 මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් පසු ඇති වූ ඛේදවාචකයෙන් පසුව කොළඹ නගරයේ කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් යොදන්න කියලා අපි ඉල්ලා සිටියා ජූලි මාසයේදී. ඒ අනුව ඉඩම් සංවර්ධන සංස්ථාව කසළ අංගනයක් කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගියා, අදටත් පවත්වාගෙන යනවා. අපි කිව්වේ වසරක් ඇතුළත කොළඹ නගර සභාවට විසඳුමක් සොයා ගන්න, එතකං අපි එය කරන්නං කියලා. නමුත් දැන් වසර දෙකක කාලයක් ගෙවී තිබෙනවා. තවම කොළඹ නගර සභාවට එවැනි විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අතරේදී කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති දෙකකට අපි අවස්ථාව ලබාදී තිබෙනවා. එයින් එක ව්‍යාපෘතියක් මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වීමට නියමිතයි. අනෙක් ව්‍යාපෘතිය ලබන වසරේදී කි‍්‍රයාත්මක වීමට නියමිතයි. ඒ වගේම පුත්තලම සේරක්කුලි ප‍්‍රදේශයේ විද්‍යාත්මක කසළ අංගනයක් සම්පූර්ණ දේශීය අරමුදල්වලින් මේ වන විට ඉදී වී තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා මේ දේශපාලන උද්ඝෝෂණවලට බිය නොවී මේ කසළ අංගනයට කරුණාකරලා කසළ භාර දෙන ලෙස තැන් තැන්වල විශාල ව්‍යසනයන් සිදු නොකර කියා. ඒ වගේම කොළඹ නගර සභාවෙන් අපි ඉල්ලා සිටිනවා නැවත වතාවක් ඉතාම සරළ සැහැල්ලූ ආකාරයට මේ ප‍්‍රශ්නය ගන්නේ නැතිව ඉතාම බැරෑරුම් ආකාරයට මේ ප‍්‍රශ්නය ගෙන මේ කසළ කළමනාකරණය සිදු කිරීම සඳහා පියවර ගන්න කියලා.

ඒ වගේම රටේ ගංඟා වැලි සැපයීම පිළිබඳ ගැටළුකාරී තත්වයක් තිබෙන නිසා, ඒවැලි සැපයීමේ කටයුත්තට අපි අතගසා තිබෙනවා. 2014 දි වැලි කියුබ් 33,000ක ආසන්න ප‍්‍රමාණයක් තමයි ඉඩම් සංවර්ධන සංස්ථාවේ මුහුදු වැලි හෝදලා බාර දුන්නේ. 2018 වන විට එය දෙලක්ෂ පනස්පන්දහසක් දක්වා අපි වැඩිකර තිබෙනවා. අපේ ඉලක්කය 2020 වන විට ලක්ෂ 5 දක්වා මේ ඉලක්කය වැඩි කරන්න. ඒ මගින් ගංඟා වැලි වෙනුවට සෝදා පිරිසිදු කරන ලද වැලි ලබාදීම තමයි අපේ අරමුණ. ඒ වගේම අපි වරාය නගරය සම්බන්ධ වූ කි‍්‍රයාදාමය තුළ ඉංජිනේරුමය දැනුමක් දේශීය ඉංජිනේරුවන් ලබාගත්තා. කොහොද මේ මුහුද ඛාදනයත්, අනෙක් පැත්තෙන් ගංඟාවලට යන වැලි විධිමත්ව පාවිච්චි කර මුහුද ගොඩකරලා කිසියම් ආකාරයට අපගේ ගොඩබිම් ප‍්‍රදේශය අරක්‍ෂා කර ගන්නේ කියලා. ගොඩ දෙනෙක් ප‍්‍රශ්න නගා තිබුණත්, බිය පළකර තිබුණත් පරිසරවේදීන්, සමාජවේදීන් නොයෙක් දෙනෙක්. අද අපි අක්කර 700 ක් කිසිම ගැටළුවක් නැතිව ඒ වරාය නගරයේ ඉංජිනේරුමය වශයෙන් ඉදිකර අවසන් කර තිබෙනවා. අපේ ඊ ළඟ පියවර කොල්ලූපිටියේ සිට දෙහිවලට තවත් හෙක්ටයාර්  160 ක් මේ ආකාරයටම මුහුදින් ගොඩකර ලබාගැනීම. වසර 200 ක් කළු ‍ග‍ඟෙන් මුහුදට ගලා ගිය දැවැන්ත පස් කන්ද දැන් විධිමත් සංවර්ධන භූමියක් බවට පසුගිය වසර තුනේදී පත්වෙලා තිබෙන බව අපි ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා අනාගතයේ මුහුදු නගර ව්‍යාපාරයක් අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සම්බන්ධ කර මේ කටයුත්ත සිදු කරන්න. ඊට අමතර වශයෙන් ඉංජිනේරුමය ආයතන බොහොමයක් පාඩුවට දුවන, දේශපාලන උවමනාවන් මත දුවන දේශපාලකයින්ට රැකියා උත්පාදනය කරන ස්ථාන බවට පත් වෙද්දි අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව ඉංජිනේරුමය වශයෙන් අද ශක්තිමත් බලගතු ආයතනයක්  බවට පත් කර තිබෙනවා. 2014 දී අපේ ආදායම තිබුණේ මිලියන 2500 යි. අද අපේ ආදායම මිලියන 8,000 කට වසර තුනක් ඇතුළත අපි ගෙනවිත් තිබෙනවා. ඒ වගේම අපේ වත්කම් ප‍්‍රමාණය බිලියන 18 දක්වා අපි වැඩිකර තිබෙනවා. ඒ වගේම 2015 මා මෙය භාර ගන්න විට මිලියන 155 ක පාඩු ලබන ආයතනයක් හැටියටයි භාර ගත්තේ. අද අපි මිලියන 2,800 ක ලාභයක් විවිධ දේශපාලන ප‍්‍රශ්නත් සමග පසුගිය වසරේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ රාජ්‍ය ආයතන හදන්න බැහැ, රාජ්‍ය ආයතන පාඩු ලබනවා, රාජ්‍ය ආයතන කියන්නේ මහජනතාවගේ සල්ලිකන බහිරවයෝ කියලා මතයක් තිබෙනවා. නමුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය නම් විශේෂයෙන්ම ඉංජිනේරුමය ආයතනවලට මේ කටයුත්ත ඉටු කරන්න පුළුවන් කියන එක මේ අරමුදල් පාලනය කිරීමේ පැත්තෙනුත් පෙන්වා දී තිබෙනවා.

විවිධ අභියෝග පැමිණි අවස්ථාවලදී, විශේෂයෙන්ම මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු වෙලාවේදි විදේශ විද්‍යාඥයෝ නැතිව, විදේශ ඉංජිනේරුවරු නැතිව මේක කරන්න බැහැ කිව්වා. අද දේශීය ඉංජිනේරුවෝ ලවා අපි කසළ කන්ද අවට ප‍්‍රදේශය අක්කර 35 ක් ප‍්‍රතිසංවර්ධනයට අපි ලැහැස්ති කර තිබෙනවා. ඒකෙන් අක්කර 24 ක් මීතොටමුල්ල කොලොන්නාව ප‍්‍රදේශයේ නාගරික උද්‍යානයක් බවට පත්කිරීමට අවශ්‍ය කරන පියවර තබා තිබෙනවා. මේ කිසිම තැනක විදේශීය විශේෂඥභාවයක් හෝ විදේශීය ආකාරයක් නැහැ. මේක ලොකු ආදර්ශයක් මේ රටේ කසළ කි‍්‍රයාවලියේ ඇත්තටම මේ කුණු කඳු නිවැරදි ආකාරයට පාවිච්චි කරලා විධිමත් ආකාරයට පවත්වාගෙන යන්න දේශීය වශයෙන් පුළුවන්. හුඟ දෙනෙක් කිව්වේ මේකට ලෝක බැංකුවෙන් උපදෙස් ගන්න, ජපානයෙන් උපදෙස් ගන්න, කොරියාවේ උපදෙස් ගන්න කියලා. අපි ඒ හැම කෙනාගෙන්ම උපදෙස් ගත්තා, අපට හොඳ උපදෙස් ලැබුණා. නමුත් දේශීය වශයෙන් මේ කටයුත්ත කරන්න අපේ ඉංජිනේරුවරු අද සමත්වී තිබෙන බවත් මම ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම බේරේ ප‍්‍රතිසංස්කරණය සඳහා කාලාන්තරයක් තිස්සේ විවිධ විදේශ ආයතනවලින් නොයෙකුත් යෝජනා ඉදිරිපත් වී තිබුණත් අද රාජ්‍ය අරමුදල් පාවිච්චි කරලා, එහි පෙත්මග ඉදිකිරීම ලෝක බැංකු ආධාරවලින් කළා. අනෙක් කොටස් රාජ්‍ය අරමුදල් පාවිච්චි කර අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කරන බව ප‍්‍රකාශ කළ යුතුයි. අපේ ඊ ළඟ ඉලක්කය වත්තල පෑලියගොඩ ප‍්‍රදේශයේ විශේෂයෙන්ම අධිවේගී  මාර්ග පද්ධතිය ඇවිත් එතන වැටෙන තැන එම මාර්ගය කෙරවලපිටිය දක්වා ලබන වසර වන විට කි‍්‍රයාත්මකයි. ඒ අනුව එය ප‍්‍රධාන මංසන්දියක් බවට ප‍්‍රධාන උප නගරයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම  කොළඹ නගරයේ තිබෙන මැනිං වෙළෙඳ සැල අද පෑලියගොඩට ගෙනයන්න ගොඩනැගිලි සංකීර්ණය ඉදිවෙමින් තිබෙනවා. ලබන වසරේ සිට මැනිං වෙළෙඳසැල එම ස්ථානයට එනවා. ලබන වසරේ අපි සැළසුම් කර තිබෙනවා කොළඹ නගරයේ තිබෙන සියළුම තොග වෙළෙඳාම් පෑලියගොඩ ප‍්‍රදේශයට ගේන්න.

ඒ වගේම කෙරවලපිටියේ නව ප‍්‍රවර්ජන නගරයක් ඉඩම් සංවර්ධන සංස්ථාව ඇති කලා. එදා විශාල වශයෙන් තිබූ මුතුරාජවෙල පරිසර ව්‍යසනය වෙනුවට මුතුරාජවෙල කලාපකරණයකට ලක්කළා. සංරක්ෂිත ප‍්‍රදේශය, ඒ වගේම බෆර්සෝන් එක, ඒ වගේම සංවර්ධන ප‍්‍රදේශය අද ඒ සංවර්ධන ප‍්‍රදේශයේ අක්කර 400 ක් විධිමත් සංවර්ධනයකට අපි යොමු කර තිබෙනවා. විදුලි බලාගාර තිබෙනවා. ෂෙල් සමාගම තිබෙනවා. ඒ වගේම මේ රටේ ප‍්‍රධාන ප‍්‍රවර්ජන කි‍්‍රයාවලිය සිදුකරන ප‍්‍රධාන ආයතන සියල්ලම එතනට ගෙනවිත් අපි අද ඒ ප‍්‍රවර්ජන නගරය, එහෙම නැත්නම් ලොජිස්ටික් සිටි එක එතන ස්ථාපිතකර ගෙන යනවා. එය විශාල ශක්තියක් වෙනවා මොකද වරායත්, ගුවන්තොටුපලත් අතර සිදු කරන මේ ව්‍යාපාරයේදී ඉතාම බලගතු ස්ථානයක් බවට කෙරවලපිටිය පත් කරන්න පුළුවන් වුණා. එය කරන්න පුලූවන් උනේ මේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ ඉංජිනේරුමය හැකියාව පසුගිය කාලයේ ලඟ කර ගත් නිසයි.

අපේ ඊ ළඟ ඉලක්ක විදේශවලට අති විශාල ධනයක්  තවම ගමන් කරනවා, වැලි ගොඩදමන්න ගියහමත්, වෙරළ තීරය සංරක්‍ෂණය කරන්න ගියහමත්, මේ හැම අවස්ථාවකදීම අපට අවශ්‍ය වෙනවා ඩෙ‍්‍රජර් යන්ත‍්‍ර. ඩෙ‍්‍රජර් යන්ත‍්‍රයක් අපට නැහැ. ඒ නිසා ඉඩම් සංවර්ධන සංස්ථාවේ ඊ ළඟ කි‍්‍රයාදාමය තමයි අපි උපයා තිබෙන ලාභ පාවිච්චි කර ඩෙ‍්‍රජර් යන්ත‍්‍රයක් අරගෙන එය අපගේ වෙරළ ඛාදනය වැළැක්වීමේ වෙරළ සංරක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාවලියට, ඒ වගේම අනාගත වශයෙන් අපි ඉඩම් මුහුදෙන් ලබාගන්න බලාපොරොත්තු වන කි‍්‍රයාවලියට අවශ්‍ය කරන තාක්ෂණික ශක්තිය ලබාගැනීමටත් අපි කටයුතු කර තිබෙනවා. අපට රජයේ කිසිඳු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ කටයුතු සිදු කරන්න. අපේ ආයතනය රජයෙන් අරමුදල් අරගන්නේ නැතිව අපේම ශක්තියෙන් ගෙනිහින් තිබෙනවා. මේ ආයතන සම්බන්ධයෙන් නොයෙක් ප‍්‍රශ්න දූෂණ වංචා කතා ගොඩක් පැතිරිලා තිබුණා. නමුත් අපි අපේ දෙමාපියන්ටවත් අපේ ඥාතීන්ටවත් නෙවෙයි මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය කරන සංවර්ධනයේ ඉලක්ක වෙනුවෙන් මේ අනාගතය නැවත ප‍්‍රතිනිර්මාණය කර තිබෙන බවත් ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා මේ ආයතනය ඉදිරි කාලයේදී මුලූ රටටම විශේෂයෙන්ම මේ දේශ ගුණික විපර්යාෂයන් විසින් ඇතිකරන හදිසි ගංවතුර තත්වයන්, නියන් තත්වයන් කියන මේ හැම තත්වයකටම ඔරොත්තු දෙන කි‍්‍රයාවලියක් ඇති කිරීමට අත්‍යාවශ්‍යයි. මේ ලෝකයේ ශිෂ්ඨාචාර බොහොමයක්, විශේෂයෙන්ම නාගරික ශිෂ්ඨාචාර නගර මුල් කෙරුණේ ප‍්‍රධාන ගංඟාවන් සමග. ලංඩනය නමැති වාණිජ නගරය ගොඩනැගුණේ තේම්ස් නදියෙන්. ඒ වගේම පැරීසිය ගොඩනැගුනේ ෂේන් නදියෙන්. ඒ වගේ ලෝකයේ ප‍්‍රධාන ගංඟා හරහා බර්ලිනයේ රයින් නදියේ, ඒවගේම ඩැනියුග් නදිය හරහා වියනා නගරය හා නැගෙනහිර යුරෝපීය රටවල්. ඒ වගේම චීනයේ ප‍්‍රධාන නාගරික සංවර්ධනය උනේ පර්ල් ඩෙල්ටාවේ. එදා ඉතාම කාලකන්නි අඳුරක තිබූ පර්ල් ඩෙල්ටාව අද ලෝකයේ කාර්මික නිෂ්පාදනයෙන් 36% ක් නිෂ්පාදනය කරන ෂෙන් ෂෙන් ගොන්ෂු කියන දැවැන්ත වාණිජ කලාපයකට ගිහින් තිබෙනවා. නමුත් අවාසනාවකට අපේ කැළණි ගඟ සම්බන්ධයෙන් එවැනි ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක උනේ නැහැ. අපි මහවැලි ගඟට ගෙනිච්චා. නමුත් කැළණි ගඟ කියන්නේ අපේ කසළ ගෙනිහින් දාන, අපජලය ගෙනිහින් දාන ගංවතුරෙන් බැට කන අපට හානියක් වෙන දෙයක් හැටියට තමයි කැළණි ගංඟා තීරය තිබෙන්නේ. ඒ නිසා අපි යෝජනා කර තිබෙනවා පර්ල් නදිය, චීනයට ආර්ථික බලයක් උනා වගේ මේ කැළණි ගංගාව විධිමත් ජල කළමනාකරණයකට යොමු කර, ඒ වගේම ප‍්‍රවාහන ක‍්‍රියාවලියකට යොමුකර ඒ වගේම එහි නාගරික සංවර්ධනයක් ඇතිවන විදිහට කි‍්‍රයා කර කැළණි ගඟ පිළිබඳ බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් ලංකාවට ඉදිරියේදී අත්‍යාවශ්‍යයි. අඩුම තරමින් මෝදර සිට කඩුවෙල පාලම දක්වා ප‍්‍රදේශයට. ඒ සඳහා අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩපිළවෙලක් කරගෙන යනවා. අපේ අමාත්‍යාංශයත් ඒ සඳහා දායක වී තිබෙනවා.

මේ රට බලගන්වන්න, මේ රට බලගතු ආර්ථිකයක් දක්වා  ඔසවා තබන්නට ඉතාම අත්‍යාවශ්‍ය යෝජනා ක‍්‍රමයක් තමයි මේ බහුකාර්ය කැළණි ගං යෝජනා ක‍්‍රමය. ඒකට අවශ්‍ය කරන ඉංජිනේරුමය ශක්තිය, දැනුම, ජලකලමනාකරණයේ දැනුම් පද්ධතිය ලඟා කර ගැනීම සඳහා අපි අපගේ ආයතනය අනුක‍්‍රමයෙන් ඉහළට ගෙනයනවා. එහි එක පියවරක් හැටියට තමයි අපි කාලීන වශයෙන් ජල කළමනාකරණය, ජලතත්වයන් පුරෝකථනය කරන්න පුළුවන් ඒ විද්‍යුත් මධ්‍යස්ථානය ඉදිකර තිබෙන්නේ. ඒ අනුව මේ ආයතනය හුදු ඉඩම් ගොඩකර සංවර්ධනය කරන කි‍්‍රයාවලියක් පමණක් නෙමෙයි, පරිසර සංරක්ෂිත ආයතනයක් හැටියට, නාගරික සංරක්ෂිත ආයතනයක් හැටියට ආර්ථිකය ඉදිරියට ගෙනයන ප‍්‍රධාන ජවන ඇන්ජිමක් බවට මේ ආයතන පරිවර්ථනය කිරීමයි අපේ පරමාර්ථය. ඒ සඳහා යම් මට්ටමකට පහළ වැටිච්ච ආයතනය අපි ඉහළ ගනයේ ආයතනයක් බවට පරිවර්ථනය කර තිබෙනවා. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ එහි සභාපතිතුමා, උපසභාතිතුමා අධ්‍යක්‍ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලවල අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමින් මේ නාමය වෙනස් කිරීමෙන් පමණක් නෙමෙයි මෙහි කි‍්‍රයාදාමය වෙනස් කිරීම මගින්, මේ ආයතනයේ ගමන් මග වෙනස් කිරීම පැත්තෙන් අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමෙන් මේ ආයතනය මේ රටේ ආර්ථිකයට, සමාජයට ශක්තිය දෙන බලගතු ඉංජිනේරුමය ආයතනයක් බවට පත් කිරීමට සියළු දෙනාගේම සහයෝගය බලාපොරොත්තුවන බවත් පැවසීය. 

Recommended For You

About the Author: Editor