අපි අද ජීවත් වෙන්නේ දිනකට මිනිසුන් 30,000ක් උපන් බිමෙන් පළවා හරින ලෝකයක

‘‘අවතැන්වීම’’ ලංකාවේ අපිට අලූත් අත්දැකීමක් නොවෙයි. ස්වභාවික අපදා නිසා මෙන්ම පසුගිය තිස් අවුරුදු යුද්ධය නිසා ද අපි මේ ගැටලූවෙන් හොඳ හැටි බැටකෑවා.

අද ලංකාවේ සිවිල් යුද්ධයක් හෝ වෙනත් වාර්ගික ගැටුමක් නැති නිසා ඉඳහිට වාර්තා වන්නේ ස්වභාවික අපදා වන ගංවතුර, නායයෑම් ආදිය නිසා සිදුවන අවතැන් වීම් පමණයි. ඒත් අපි ජීවත් වන ලෝකය නම් එතරම් නෙවෙයි කෙසේවත් යහපත් තැනක් නොවන බවයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

මේ වන විට ලොව පුරා ජීවත් වන මිලියන 70 ක ජනතාවක් අවතැන්වී සිටින බවයි ඔවුන් සඳහන් කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේදී මිලියන 2.3කින් අවතැන් සංඛ්‍යාව වැඩි බවත් සෑම දිනකම 30,000ක පමණ පිරිසක් අවතැන්වන බව ද එම වාර්තාවල සඳහන් වෙනවා.

ලොව පුරා අඛණ්ඩව සිදුවන සංක්‍රමණික ගැටලුව හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අනුව සුඩානය, කාම්භෝජය, සිරියාව වැනි රටවලින් සංක්‍රමණය වන පිරිස වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මේ අතරට අලූතින් එක්වූ රට වන්නේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවයි. කලක් ඉතා ධනවත් රටක් වූ වෙනිසියුලාව අධිකාරිවාදී පාලනය යටතේ විනාශය කරා ගමන් කර තිබෙනවා. අද එරට ජනතාව ලක්ෂ ගණනින් රට හැර යන බවයි එක්සත් ජාතීන් සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල පෙන්වා දෙන්නේ.

ලොව පුරා ලක්ෂ 700ක් අවතැන් වුවත්, දිනකට අවතැන්වූවන් 30,000ක් බිහි වුවත් ඔවුන් පිළිගැනීමට ලෝකයේ කිසිම රටක් සූදානම් නොවීම මේ වන විට නිර්මාණය වී ඇති තවත් දැවැන්ත මානුෂීය ඛේදවාචකයක්. අවම වශයෙන් ධනවත් යුරෝපා රටවල් පමණක් නොව අවතැන්වීම්, සරණාගතයින් වීම් ආදිය හොඳ හැටි හුරු පුරුදු ශ‍්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් පවා මේ අවතැන්වූවන්, සරණාගතයින් දෙස දැඩි විරෝධයක් දැක්වීම සැබවින්ම වේදනාවක්.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor