වෛද්‍ය ෂාෆි සම්බන්ධ විමර්ශන CIDට – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේදී ඊට සහාය වන වෛද්‍යවරුන් හා වෛද කාර්ය මණ්ඩලවලින්ද, සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 601 දෙනෙකු එමෙන්ම නොමේරු ළදරුවන් පිලිබද වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කර තිබෙන බවත් මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 758 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළා.

සිසේරියන් සැත්කම්වලින් පසුව මව්වරුන් වද භාවයට පත් වූ බවට හා එම මව්වරුන්ට සිදු කළ සැත්කම්වලින් අනතුරුව විවිධ අසාදනවලට ලක් වූ බවට වෛද්‍ය සාෆිට එරෙහිව විවිධ චෝදනා එල්ල වුණා. කුරුනෑගල හා දඹුල්ල රෝහල්වලට ලැබී ඇති පැමිනිලි සම්බන්ධයෙන් පරීක්ෂණ  පසුගිය මස 27 වනදා ආරම්භ කළා. මෙම විමර්ශනවලට අනුව සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 601 දෙනෙකු විශේෂඥ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යරුවරුන් 07 දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකුගෙන්ද දැනටමත් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන අවසන්. එමෙන්ම නොමේරු ළදරුවන් පිලිබද වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන්  ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

විශේෂයෙන් සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේදී ඊට සහාය වන වෛද්‍යවරුන් හා වෛද කාර්ය මණ්ඩලවලින්ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ අනුව සිසේරියන් සැත්කම සිදු කරන වෛද්‍යවරයාට සහාය ලබා දෙන වෛද්‍යවරුන් 11 දෙනෙකු නිර්වින්දන වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් සිද්ධිය පිළිබද කරුණු සටහන් කරගෙන තිබෙනවා. මෙවැනි සැත්කමක් සිදු කරන අවස්ථාවෙදී අවම වශයෙන් හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හෝ ඊට එක්වන බව රෝහල් වාර්තා  සදහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන හෙද නිලධාරියකු ඇතුළු හෙද නිලධාරීන් 70 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

විමර්ශන තවදුරටත් විධිමත් කරමින් සැත්කමට සහාය වන උපස්ථාන සේවකයින් 18 දෙනෙකුගෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගෙන තිබෙනවා. විමර්ශනවලට වැදගත්වන වෙනත් ප්‍රකාශ 31 ක් දැනටමත් ලබා ගෙන ඇතැයි අතර කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා මෙන්ම චෝදනා එල්ල වන වෛද්‍ය සාෆිගෙන්ද අවස්ථා ගණනාවකදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor