‘Eoin Morgan’ ඒ අසිරිමත් පිතිහරඹය නොදුටු දෑස් මක්කෙටෙයි

ඊයේ (18) සත්කාරක සුපිරි එංගලන්තය සහ නවක ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගය ගැන ක‍්‍රීඩාලෝලීන් අතර වැඩි උන්නදුවක් තිබුණේ නැහැ. එය බොහෝ දෙනෙක් දැක්කේ ‘‘ගලිවර්ලා – ලිලිපුට්ටන් අතර තරගයක් විදිහටයි. ඒ නිසාම දෝ බොහෝ ක‍්‍රීඩා ලෝලීන් රූපවාහිනි තිරය මගහැර ගොස් සිටියා. නැතිනම් ලෝක කුසලාන තරගයක් නැතිවාසේ සිටියා.

ඒත් මැන්චෙස්ටර්හි Old Trafford ක‍්‍රීඩාංගණයට රැස් වූ සහ රූපවාහිනී තිරය දෙස නොසැලකිල්ලෙන් බලාසිටි පේ‍්‍රක්ෂකයින්ට ඓතිහාසික තරගයක සාක්ෂිකරුවන් වීමට අවස්ථාව ලැබුණා. ඇත්තටම එය ඓතිහාසික වගේම බොහොම විරල අවස්ථාවක්. ඒ වගේම ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන් කුල්මත් කළ අපූරු තරගයක්.

ප‍්‍රථමයෙන්ම කිව යුක්තක් තිබෙනවා. ඒ නවක ඇෆ්ගන් ක‍්‍රීඩකයෝ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පියවරුන් ඉදිරියේ අත දරුවන් සේ නොහැසිරුණ බවයි. ළපටි, අත්දැකීම් විරහිත බවක් ප‍්‍රකට නොකළ බවයි. එය ලෝක ශූරයින් වගේම අනුශූරයින් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් මැදපෙළ පිතිකරුවන්ට ආදර්ශයක් බව ද සඳහන් කළ යුතුයි.

එංගලන්ත – ඇෆ්ගන් තරගය ඓතිහාසික එකක් කළ ‘‘ඔයින් මෝගන්’’ ගැන කතා කිරීමට පෙර මෙම තරගය ගැන ද යමක් ලිවිය යුතුයි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ මෙවැනි අවස්ථාවක් යළි උදා නොවන බව සිතමින් විය හැකියි. ඒ නවක ඇෆ්ගන් පිලට එරෙහිව දැවැන්ත ලකුණු ප‍්‍රමාණයක් ලබා ගෙන දළ ලකුණු වේගය තව දුරටත් ඉහළ නංවා ගැනීමට පහසු අවස්ථාවක් උදාකර ගත හැකි නිසයි. එනිසා මුලින්ම පන්දුවට පහරදීමට එංගලන්ත නායකයා ගත් තීන්දුව ඉතාම නිවැරදියි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තයට ඉතා පහසුවෙන් නියමිත පන්දු වාර 50 තුළදී කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 397ක් වැනි දැවැන්ත අගයක් කරා යාමට හැකියාව ලැබුණා. මේ ලකුණු 397 තුළ ජොනී බෙයාස්ට්‍රෝ 90, ජෝ රූට් 88 සහ ඔයින් මෝර්ගන්ගේ ලකුණු 148ක් තිබුණා.

පන්දු යැවීම ගත් විට, ගුල්බඞීන් නබී 68/3ක්, දවුල්ත් සද්රාන් 85/3ක් වශයෙන් කඩුළු ලබා ගෙන තිබුණා.

ලකුණු 398ක් වැනි දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පවිසි ඇෆ්ගන් පිල කඩුළු 08ක් පමණක් දැවී නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 247ක් රැුස් කළා. ඒ අනුව ලකුණු 150ක දැවැන්ත ජයග‍්‍රහණයක් එංගලන්තය ලැබුණා පමණක් නොව ඒ සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැන දිනා ගැනීමට ද එංගලන්තයට හැකියාව ලැබුණා.

Eoin Morgan ඔයින් මෝගන් වාර්තා පොතට

ඇෆ්ගනිස්ථානය වැනි නවක පිළක් හමුවේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් වශයෙන් හෝ පුද්ගලිකව ලබා ගැනීම ඇතැම් විට ‘මහ ලොකු දෙයක් ’’ නොවන්නටත් පුළුවන්. ඒත් ලෝක වාර්තා පොතට නම් ‘‘නවක’’ ආදි යෙදුම් වලංගු නැහැ. ඒ නිසා ක‍්‍රිකට් ලෝක වාර්තා පොල අලූතින් ලියන්නම වෙනවා.

ඊයේ තරගයෙන් පසු ඔයින් මෝගන් වෙනුවෙන් ක‍්‍රිකට් ලෝක වාර්තා අලූතින් ලියවුණා. ඒ ‘‘එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී වැඩිම හයේ (6) පහර සංඛ්‍යාවක් එල්ල කළ ක‍්‍රීඩකයා’’ ලෙසයි. ඔයින් ඛාන් පන්දු 71කට මුහුණ දී ලකුණු 148ක් ලබා ගත්තා. මෝගන් තම ලකුණු 148ට දැවැන්ත හයේ පහර 17ක් එල්ල කර තිබුණා. ඒ කියන්නේ ඔහු ලබාගත් ලකුණු 148/102ක්ම හයේ පහරවල් වලින් ලබාගත් ඒවා.

ඔයින් මෝගන් විසින් බිඳ දමනු ලැබුවේ ක්‍රිස් ගේල්, රෝහිත් ෂර්මා සහ ඒගබීග ඩිවිලියර්ස් සමව හිමිකම් කී හයේ පහර 16 ලෝක වාර්තාවයිග ක්‍රිස් ගේල් 2015 වසරේ දී ලෝක කුසලාන තරගයකදී සිම්බාබ්වේ පිලට එරෙහිව හයේ පහර 16ක් එල්ල කර තිබුණා.

තවත් වාර්තා

ඔයින් මෝගන්ට හිමිවන්නේ වැඩිම 6 පහර සංඛ්‍යාවේ වාර්තාව පමණක් නොවෙයි. ඔහු ඊයේ පන්දු 59කදී ශතකයක් (100) රැස් කිරීමට සමත් වුණා. එය සැලකෙන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ සිවුවන වේගවත්ම ශතකය වශයෙන් සහ එංගලන්ත පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.

මේ අතර නවක ඇෆ්ගන් පන්දු යවන්නකු වන රෂීඩ් ඛාන් ඕවර 9කදී ලකුණු 110ක් ලබා දුන්නේ ලෝක කුසලාන තරගයකදී පන්දු යවන්නකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම, එක්දින තරගයකදී පන්දු යවන්නකු ලබාදුන් වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාවේ වාර්තා සමගයි. මෙහිදී රෂීඩ්ට එරෙහිව හයේ පහර 11ක් එල්ල වූ අතර පන්දු යවන්නකුට එරෙහිව වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස එය වාර්තා පොතට එක් වුණා.

ඉතිං, දැන් නම් බොහෝ දෙනකුට හිතෙනවා ඇත්තේ ඊයේ පැවැති එංගලන්ත – ඇෆ්ගන් තරගය නොබැලූ, නොදුටු දෑස් කුමකටද ? කියලා විය හැකියි.

ඇත්ත ඉතිහාස පොත අලූතින් ලියන තැනක ජීවමාන සාක්ෂිකරුවන් වීම ලේසි පහසු වාසනාවක් නොවෙයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor