ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත අවසන් සංස්කරණ සහ සමාලෝචනය සඳහා එළිදකී

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් උපදෙස් හා මඟපෙන්වීම් අනුව අලුතින් සකස් කරන ලද ‘‘ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත’’ අද (20) අවසන් සංස්කරණ සහ සමාලෝචනය සඳහා එළිදක්වනු ලැබුවා.

මීට සමගාමීව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන කොමිසන් සභාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ආයතන නියෝජනය කරමින් අධ්‍යාපන බලධාරීන් රැසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල මෙසේ සඳහන් කළා.

මේ වනතෙක් පවතින 1939 අංක 31 දරන යටත් විජිත සමයේ දී හඳුන්වා දෙන ලද අධ්‍යාපන පනත වෙනුවට නව අධ්‍යාපන පනතක් සකස් කිරීම සම්බන්ධව මීට දශක ගණනාවක් තිස්සේ වරින් වර බලයට පත්වූ විවිධ රජයන් යටතේ විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ම අවධානය යොමු ව තිබුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ගත හැකි සුවිශේෂ සහ ඓතිහාසික තීන්දුවක් ක්‍රියාවට නංවමින්ල නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලාන්තරයක් තිස්සේ මතුව තිබූ ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් ඊට ස්ථාවර විසඳුම් ද ලබාදීමේ අරමුණින් නව ජාතික අධ්‍යාපන පනත හඳුන්වා දීමට තීරණය කළා.

ආණ්ඩු මාරු වුව ද, ඇමතිවරුන් මාරු වුව ද, ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයක් රටට මේ හරහා ලබාදිය හැකි වෙනවා. මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන සියලු දෙනාගේ ම කාලයක් තිස්සේ පැවති බලාපොරොත්තු මල්පල දැරීමක් වශයෙන් සැලකිය හැකියි’’ යනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළා.

Recommended For You

About the Author: Editor