දකුණු අප‍්‍රිකාවේ සෙනසුරු අපලය හමුවේ නවසීලන්තය අපරාජිතව ඉදිරියට

දකුණු අප‍්‍රිකාව කියන්නේ ක‍්‍රිකට් පිටියේ අති දක්ෂ කණ්ඩායමක්. මැයි 30 වැනිදා ලෝක කුසලානය ආරම්භ වීමට පෙර 12 වැනි ලෝක කුසලානය දිනා ගැනීමේ ලැයිස්තුවේ මුල්පෙළ අසුනක් ඔවුන්ට හිමි වුණා. ඒ පන්දු යැවීම, පිතිකරණය ඇතුළු සියලූම අංශවලින් දකුණු අප‍්‍රිකාව දැක්වූ සුවිශේෂත්වය නිසා.

ඒත් ලෝක කුසලානයේ ආරම්භයත් සමග දකුණු අප‍්‍රිකාවට හෙරනහුරු අපලය ලැබුවා වාගේ සහභාගී වුණ 6/5ක් ඔවුන්ගේ අවාසියටයි තීන්දු වුණේ. ඒ නිසා අද (20) වෙන කොට දකුණු අප‍්‍රිකානු දැවැන්තයෝ ඉන්නේ ප‍්‍රසාද ලකුණු 03ක් ලබාගෙන 08 වැනි ස්ථානයේයි. ඔවුන්ට පහළින් තවත් ප‍්‍රබල කණ්ඩායමක් වන පාකිස්ථානයත් නවක ඇෆ්ගනිස්ථානයත් ඉන්නවා.

මේ අවාසනාවන්ත තත්ත්වය තුළ දකුණු අප‍්‍රිකාව ඊයේ (19) බර්මින්හැම්හී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අපරාජිත නවසීලන්තය සමග ගැටුණා. ඒත් දකුණු අප‍්‍රිකාවේ අවාසනාවට නිමක් නැති බව කියාපාමින් එම තරගයෙන් ද නවසීලන්තය හමුවේ කඩුළු 04ක පරාජයකට හිමිකම් කීමට දකුණු අප‍්‍රිකාවට සිදු වුණා. ඊයේ පැවැති තරගයට වර්ෂාවෙන් සුළු බාධාවක් සිදු වූ නිසා එය පන්දුවාර 49කට සීමා කළා. ඒ අනුව කාසියේ වාසිය දිනූ නවසීන්ත නායකයා පළමුවෙන්ම පන්දුවට පහරදීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පිටියට පිවිසි දකුණු අප‍්‍රිකානුවෝ පන්දු වාර 49කදී කඩුළු 06ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා. හසීම් අම්ලා සමගින් එක්ව දකුණු අප්‍රිකානු ඉනිම ඇරැඹූ ක්වින්ටන් ඩි කොක්ට සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි වුවත් අර්ධ ශතක ද්විත්වයක සබඳතා පවත්වමින් මුළු ලකුණු සංඛ්‍යාව 111 දක්වා ඉදිරියට ගෙන යෑමට අම්ලා සමත් වුණා.

නායක ෆෆ් ඩු ප්ලෙසි සමගින් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 50ක සබඳතාව ලකුණු 23ක් ලබාසිටි ඩු ප්ලේසි දැවී යෑමෙන් බිඳ වැටුණු අතර තෙවැනි කඩුල්ල ලෙස අම්ලා දැවී ගියේ ඒඩ්න් මාක්‍රම් සමගින් ලකුණු 52ක් එක් කිරීමෙන් අනතුරුවයි. පන්දු 83කට මුහුණදුන් අම්ලා හතරේ පහර 4ක් සමගින් තිස්අටවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 55ක් රැස් කළා.

අම්ලා දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රෙසී වැන් ඩර් ඩුසෙන් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදෙමින් නොදැවී පන්දු 64කට ලකුණු 67 රැස් කළා. 4 පහර 2ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා. ඩුසේන් ඊයේ 6 වැනි එක්දින අර්ධ ශතකය ද වාර්තා කළා. ඔහු ඩේවිඩ් මිලර් සමග එක්ව පස්වැනි කඩුල්ලට ඉනිමේ ඉහළම සබඳතාව ලෙස පන්දු 74කින් ලකුණු 72ක් එක් කළා. ඊට පෙර ඒඩ්න් මාක්‍රම් ලකුණු 38කට පිටියෙන් ඉවත් කිරීමට කොලින් ඩි ග්‍රැන්ඩෝම් සමත් වුණා.

4 පහර 2ක් සහ 6පහරක් සමගින් පන්දු 37කින් ලකුණු 36ක් ලබා සිටි මිලර්, ලොකී ෆර්ගියුසන්ගේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඇන්ඩිලි පෙලුක්වායෝ ද ලකුණු ලබාගැනීමට පෙර යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ෆර්ගියුසන්ට හැකි වුණා.

නවසීලන්ත ඉනිම

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පිටියට පිවිසි අපරාජිත නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 48.3කදී කඩුළු 06ක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ :9* දැවී ගියේ පන්දු යැවූ කගීසෝ රබාඩා උඩ පන්දුවක් රැක ගැනීම නිසයි.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් හුදෙකලා සටනක නිරතවූ කේන් විලියම්සන් සමගින් 6 වැනි කඩුල්ලට එක්වූ කොලින් ඩි ග්‍රැන්ඩෝම් පන්දු 90කින් ලකුණු 91ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියා.

පන්දු 138කට මුහුණදුන් විලියම්සන් 4 පහර 9ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු සංඛ්‍යාව 106ක් රැස් කළා. ඔහු ඊයේ වාර්තා කළේ තම 12වැනි එක්දින ශතකයයි.

වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ග්‍රැන්ඩෝම් පන්දු 47කින් ලකුණු 60ක් ලබා ගත්තේ සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමිනුයි. ඔහුගේ ලකුණු 60ට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එක් වුණා.

මාටින් ගප්ටිල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 60ක් එක්කළ විලියම්සන් අනතුරුව 5 වැනි කඩුල්ලට ජෙම්ස් නීෂම් සමගින් ලකුණු 57ක් එක්කර කළා. පන්දු 34කින් ලකුණු 23ක් ලබාසිටි නීෂම් ද ක්‍රිස් මොරිස් හමුවේ දැවී ගියා. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 137ක් වුණා.

හතරේ පහර 5ක් සමගින් පන්දු 59කට මුහුණදී සිටියදී සිය පාදය කඩුල්ලේ වැදීමෙන් ගප්ටිල්ගේ ඉනිම ලකුණු 35කට සීමා වුණා. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය ඔහු සමගින් තවත් කඩුලු 2ක් ලකුණු 8ක් තුළ බිඳ දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුණා.

ලකුණක් බැගින් රැස්කර සිටි රොස් ටේලර් සහ ටොම් ලැතම්, ක්වින්ටන් ඩි කොක් උඩ පන්දු රැක ගැනීමෙන් ක්‍රිස් මොරිස්ගේ පන්දු හමුවේ දැවී ගියා.

Recommended For You

About the Author: Editor