රන්මුතුගල සංඝරතන හිමිගේ මාරාන්තික උපවාසය නතර කරන්න ඇමති වජිරගේ ඉල්ලීමට ඤානසාර හිමි හෙට කල්මුණේට

කල්මුණේ උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉඩම් සහ මූල්‍ය බලතල ලබා දී එය පළමු ශ්‍රේණියේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කරන ලෙස ඉල්ලා කල්මුණේ සුභද්‍රාරාමාධිපති රන්මුතුගල සංඝරතන හිමියන් විසින් පසුගිය සඳුදා ආරම්භ කළ උපවාස අත්හැර දමන ලෙස එම හිමියන්ගෙන් ඉල්ලා සිටීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ උපකාර ඉල්ලා සිටි බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා කියයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (20) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ තම ඉල්ලීම පරිදි හෙට (21) ඥානසාර හිමියන් කල්මුණේ බලා වැඩම කරනු ඇති බවයි.

සංඝරතන හිමියන් විසින් ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසයට ප‍්‍රදේශයේ හින්දු සහ කතෝලික ආගමික නායකයින්ගෙන් සහාය ලැබී ඇතැයි ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ප‍්‍රශ්නය වසර 30ක පමණ ඉතිහාසයක් ඇති සංකීර්ණ ගැටලුවක් බව කී ඇමැති වජිර අබේවර්ධන එයට සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් ලබාදීමට කාලයක් ගත වන බව ද සඳහන් කළේය. ඒ සඳහා සීමා නිර්ණය කිරීම් ඇතුළු දීර්ඝ ක‍්‍රියාවලියක් සිදුවිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor