පරිසරයට දේශපාලන න්‍යාය පත‍්‍ර එපා – ජනපති

පරිසරය රැක ගැනීමේ වැදගත්කම සියලූදෙනා හඳුනාගෙන සිටින යුගයක එම වගකීම් ඉටුකිරිමේ දී කිසිවෙකු දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු නොකළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මතු පරපුර වෙනුවෙන් පරිසරයේ තුලිත පැවැත්ම තහවුරු කිරීමට රටේ වගකීම් දරන සියලූ දෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ රත්නපුර/ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉදිරියේ දී අප විසින් සපුරාගත යුතුම ඉලක්කයක් බවට පත්ව ඇති රටේ වන ඝනත්වය 32 දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ, පාසල් දරුවන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ ම වගකීම බවයි

රත්නපුර දිස්ති‍්‍රක්කයේ දිළිදුකම තුරන් කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දිස්ති‍්‍රක්කයේ දුගීභාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප‍්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන්නේ රටේ දුගී භාවය තුරන් කර සියලූ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අරමුණෙන් බව සදහන් කළ ජනාධිපතිවරයා මෙම ජූනි 26 වන දාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 23 වන දා සිට සතිය මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් රැුසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබෙන බව ද කියා සිටියේය.

යෝජිත තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූවන්ට තිළිණ පිළිගැන්වීමට ද ජනාධිපති එක් විය.

Recommended For You

About the Author: Editor