බෙංගාලි ව්‍යාඝ‍්‍රයෝ පරාජය හමුවේ ගරුත්වය රැක ගනිති

ලෝක කුසලාන පළමු වටයේ තවත් සුවිශේෂ තරගයක් ඊයේ (20) නොටින්හැම්හි ටෙ‍්‍රන්ට් බි‍්‍රජ් ක‍්‍රීඩාංගනයේදී පැවැත් වුණා. ඒ සුපිරි ඔස්ටේ‍්‍රලියාව සහ නොබෝ දිනකින් සුපිරි කණ්ඩායමක් වන බවට ඉඟි කරමින් බංග්ලාදේශය අතරයි.

කවුරුත් බලාපොරොත්තු වුණ ආකාරයට මෙම තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව ජයග‍්‍රහණය කළා. ඒ ලකුණු 48කින්. ඒ සම ඊයේ (20) දිනය අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය යළි තහවුරු කර ගැනීමට තරග 5/1ක් ලෙස සිටින ඔස්ටේ‍්‍රලියාව සමත් වුණා. බංග්ලාදේශය ප‍්‍රසාද ලකුණු 05ක් දිනාගෙන 05 වන ස්ථානයේ, ශ‍්‍රී ලංකාවට ඉහළින් සිටිනවා.

බැලූ බැල්මට ඔස්ටේ‍්‍රලියා – බංග්ලාදේශ තරගය ගැන කියන්න දෙයක් නැහැ. ඒත් ක‍්‍රීඩා විචාරකයින්ට අනුව නම් මෙහි සුවිශේෂත්වයක් තිබෙනවා. ඒ ‘‘ලකුණු පිටුපස හඹා යාමේදී’’ බංග්ලාදේශය දැක්වූ සමාර්ථභාවයයි. ඒ වගේම තවත් සුවිශේෂතා කිහිපයක් ම මෙම තරගයේදී වාර්තා වුණා.

පළමුවෙන්ම, පළමුවෙන් පන්දුවට පහර දුන් සුපිරි ඔස්ටේ‍්‍රලියානුවෝ බලාපොරොත්තු වූ ආකාරයෙන්ම පන්දු වාර 50ට කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කළා.

මේ ලකුණු 381ක තුළ ඬේවිඞ් වෝනර් පන්දු 147කදී වාර්තා කළ ලකුණු 166, උස්මාන් කවාජා වාර්තා කළ ලකුණු 89, ආරොන් ෆින්ච් වාර්තා කළ ලකුණු 53 අන්තර්ගත වුණා.

ලකුණු 381ක් කියන්නේ ඕනෑම කණ්ඩායමකට දැවැන්ත ඉලක්කයක්. පහසුවෙන් හඹා යා නොහැකි ඉලක්කයක්. ඒත් එම අභියෝගය භාරගත් බංග්ලාදේශ පිතිකරුවෝ නියමිත පන්දු වාර 50ට කඩුළු 08ක් දැවී ලකුණු 333ක් වාර්තා කළා. බංග්ලාදේශය තරගය පරාජයට පත් වුණත් එය ගෞරවනීය පරාජයක් බවට පත්කර ගත්තා යැයි කීවොත් නිවැරදියි.

මෙහිදී තවත් සුවිශේෂ වාර්තාවක් ද බිහි වුණා.

දෙවැනියට, බංග්ලාදේශය තම එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ඊයේ සුපිරි ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව වාර්තා කළා. ඒ ලකුණු 333ක්. ඔස්ටේ‍්‍රලියාව වැනි සුපිරි කණ්ඩායමකට එරෙහිව එම වාර්තාව පිහිටුවීමට ලැබීම ඇත්තටම බංග්ලාදේශ ක‍්‍රිකට් වංශකතාවට ස්වර්ණමය මතකයක්.

තෙවැනියට, ඊයේ බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ ‘‘මුෂ්ෆිකර් රහීම්’’ පන්දු 97කදී වාර්තා කළ ලකුණු 102. එය ඔහුගේ පළමු ලෝක කුසලාන ශතකය වෙනවාට අමතරව බංග්ලාදේශය වෙනුවෙන් ලෝක කුසලාන තරගයක වාර්තා කළ 05 ශතකය ද වෙනවා. මීට පෙර මෙවැනි හපන්කමක් කළේ ‘මහමදුල්ලා (2) සහ ශකීබ් අල් හසන් (2) පමණයි.

මේ තත්ත්වය තුළ බංග්ලාදේශය ඇතැම් විට අවසන් පූර්ව වටයට නොගියත් ඔවුන් පෙන්වූ සටන්කාමීත්වය ලංකාව වැනි කණ්ඩායම්වලට මහඟු ආදර්ශයක් බව නොහැකියා බැහැ.

මෙම තරඟාවලියේ වැඩිම බින්දුලාභීන් වී, ලකුණු 250ක සීමාව පවා පසුකර යාමට නොහැකිව, නියමිත පන්දු වාර 50ට පවා මුහුණදීමට නොහැකිව අන්ත අසරණ වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට අසල්වැසි බංග්ලාදේශය ආදර්ශයක් සපයන බව පැහැදිලි කරුණක්.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor