රටත් ජනතාවත් කාලකන්ණි කරන ‘දේශපාලන ආතතිය’

නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම

පසුගිය සතියේ දේශපාලන හා මාධ්‍ය අවකාශය අත්පත් කරගත් ජනපතිවරයාගේ කැබිනට් වර්ජනය මේ සතියේ බලාපොරොත්තු වූ ආකාරයටම ගැටුමකින් තොරව අවසන් වුණා. ඒ නිසා ‘‘කැබිනට් සාකච්ඡුාව උණුසුම් වන ලකුණු’’ ආදි වශයෙන් අඛණ්ඩව පළ වූ ‘බ්‍රේකිං නිවුස්’ යළි අතේරෝල් බවට, හුදු හිතළු බවට පත් වුණා පමණක් නොව යළි ජනපති – අගමැති කැබිනට් ගැටුමක් නිර්මාණය කර එයින් දේශපාලන වාසි ලබා ගැනීමේ පිපාසයෙන් පෙළුණු විපක්ෂ බලවේගවල සිහින ද බිඳී ගියා.

පාස්කු ඉරිදා කමිටුවේ මාධ්‍ය කවුළුව වැසීම

වාර්තා වන ආකාරයට ජනපති – කැබිනට් ගැටුම ලත්තැනම ලොප්කර ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රබලයින් කිහිප දෙනකුම මැදිහත්වී තිබෙනවා. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනමාධ්‍යයට විවෘත කර, ඒවා ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා දක්වන විරෝධය සුළුවෙන් ලඝු කළ නොහැකි බවයි. පාස්කු ඉරිදා කාරක සභාව ප‍්‍රසිද්ධ වේදිකාවක් වීම පිළිබඳව ජනපතිවරයා පමණක් නොව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් ද පුරවැසියන් අතර ද බලවත් විරෝධයක් ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමුව ඇත්තේ මෙම කාරක සභාව මගින් ඍජුව ජනපතිවරයා දඩයම් කිරීමක් හෝ අපහසුතාවට පත් කිරීමක් ප‍්‍රදර්ශනය වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි. විශේෂයෙන් කාරක සභාවේ සාක්ෂි පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය තුළින් ජනපතිවරයා ඉලක්ක කිරීම තියුණු ලෙස සිදුවූ බවට වන විවේචනය ගැන ඔවුන් ආණ්ඩුවේ අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය තුළ සතිය ආරම්භ වන විට පාස්කු ඉරිදා කාරක සභාව සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගැනීමට නියෝජ්‍ය කතානායකවරයා පියවර ගත්තා. ඒ අනුව කාරක සභාව හමුවට කැඳවන සාක්ෂිකරුවන් පිළිබඳ නාමලේඛනයක් තමන් වෙත ගෙන්වා ගැනීමට පියවර ගත් නියෝජ්‍ය කතානායකවරයා ඊයේ සඳුදා සවස් කාලය වන විට තවත් සාමූහික තීරණයක් ගත්තා. ඒ පාස්කු ඉරිදා කාරක සභාව මාධ්‍ය වෙත නිරාවරණය නොකිරීමටයි.

බැලූ බැල්මට මේ තීරණයට ජනමාධ්‍ය සමාජයෙන් සැලකිය යුතු හෝ විරෝධයක් එල්ල නොවූ අතර එයින් ද පෙනී යන්නේ මේ කාරක සභාවේ තොරතුරු වාර්තා කිරීම ඔවුන් ද බරපතළ ලෙස ගණන් නොගත් බවයි. ඒ අනුව පාස්කු ඉරිදා කාරක සභාව මගින් ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ අපහසුතාවට පත් වන බවට ජනපතිවරයා වෙතින් එල්ල වූ චෝදනාවට සඳුදා අවසන් වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණා.

ජනපතිවරයාගේ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් පයක් පිටුපසට ගැනීම සාධනීය තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. මන්ද ජනපති – කැබිනට් ගැටුම තවත් උත්සන්න වූවා නම් එය ඉතාම පැහැදිලිව ආණ්ඩුකරණය බරපතළ අර්බුදයකට තල්ලූ කර රට අරාජිකත්වය කරා ගෙන යන නිසයි. මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කළහොත් අනපේක්ෂිත මහා මැතිවරණයකට රට තල්ලූ කරමින් සියල්ල අවුල් ජාලයක් බවට පත් කරන සිදුවීමක් බවට පත්වීමයි. මේ දේශපාලන අවුල මේ ආකාරයෙන් ලිහා ගැනීම ගැන අදාළ මැදිහත්වීම් කළ හා නම්‍යශීලීභාවයක් දැක්වූ සියලූ පාර්ශ්වයන්ට මේ අවස්ථාවේ අපේ කෘතවේදීත්වය පළ කළ යුතුයි. ඒ ඔවුන් මහා දේශපාලන ව්‍යවසනයක් වළක්වා ගත් නිසයි.

ආන්දෝලනාත්මක ඝාතන පරීක්ෂණ යළි

පාස්කු ඉරිදා කාරක සභාව පිළිබඳ විසංවාදය ධනාත්මකව අවසන් වන විට බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවුණ තවත් සුවිශේෂ සිදුවීමක් නීතිපති දෙපාර්තමේන්තුව ඇසුරින් සිදු වුණා. ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ගත් සුවිශේෂී තීරණයක් සමගයි.

මාධ්‍ය විසින් ‘‘ආන්දෝලනාත්මක ඝාතන සිදුවීම් වශයෙන් ’’ නාමකරණය කරන ලද ලසන්ත වික‍්‍රමතුංග සහ වසීම් තාජුඞීන් ඝාතනය, තරුණයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සහ මුතූර් සහන සේවකයින් 17 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තා කඩිනමින් අදාළ අංශ වෙත ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ අනෙකත් ක්ෂණික දේශපාලන සිදුවීම් මැද යටපත් වුවත් ඉහත සඳහන් පරීක්ෂණ මන්දගාමී වීම පිළිබඳව දේශපාලන අංශවල බරපතළ විවේචනයක් තිබුණා. විශේෂයෙන් ලසන්ත වික‍්‍රමතුංග සහ වසීම් තාජුඞීන් ඝාතනය ගැන දේශපාලන වශයෙන් ද කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන යන ලද තරුණයින් 11 දෙනා ඝාතනය කිරීම ආරක්ෂක – දේශපාලන වශයෙන් ද අතිසංවේදී කරුණු වුණා.

ඊට හේතුව වුණේ ලසන්ත – තාජුඞීන් ඝාතන ඍජුව පසුගිය දේශපාලන බලාධිකාරිය සමග සම්බන්ධ බවට සමාජය තුළ පවතින ප‍්‍රබල සැකයයි. අදිසි දේශපාලන හස්තයන්ගේ මැදිහත්වීම මගින් මෙකී පරීක්ෂණ මන්දගාමී වන බවට හෝ විසඳුමක් නැති තැනට පත්වනු ඇති බවයි ඔවුන්ගේ විශ්වාසය වුණේ.

ඒ සමග නව නීතිපති දපුල්ල ද ලිවේරා ගැනත් ඇතැම් පුද්ගලයින් තුළ සැක සාංකා තිබුණා. වත්මන් ආණ්ඩුව දැඩි අපහසුතාවට පත් කළ මහ බැංකු බැඳුම්කර පරීක්ෂණ ගැන දප්පුල ද ලිවේරා මහතා ලබා දුන් සකී‍්‍රය දායකත්වය මේ සඳහා ප‍්‍රධාන හේතුවක් වූ බව වටහා ගත හැකියි.

මේ තත්ත්වය තුළ බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ නව නීතිපතිවරයාගේ ආගමනයත් සමග අදාළ පරීක්ෂණ තවත් වටයකින් දුර්වල වනු ඇති බවයි. ඒ සඳහා ඔවුන් විසින් බැසගත් පූර්ව නිගමන ද රැුසක් තිබුණ නිසා තත්ත්වය තව දුරටත් ව්‍යාකූල තත්ත්වයකයි තිබුණේ.

එහෙත් පසුගිය දා නීතිපතිවරයා ගත් තීන්දුව සමග ඒ සම්බන්ධයෙන් පැවති ඍණාත්මක දා බොහොමයක් ඉවත්ව ගිය අතර අදාළ ආන්දෝලනාත්මක ඝාතන පරීක්ෂණ යළිත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇතැයි යන විශ්වාසයක් ද තහවුරු වෙමින් තිබෙනවා.

මේ සමග නීතිපතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ ගැන ද දැඩි උන්නදුවකින් ක‍්‍රියාත්මක වීම සමාජයේ අවධානයට ලක්ව තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ මේ ඍජු මැදිහත්වීම දෙස යළිත් වපර ඇසින් බලන පාර්ශ්වයක් ද නිර්මාණය වී තිබෙන බවක් දැකිය හැකියි. ඔවුන්ට අනුව ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කිරීම වේගවත් කර ඇති අතර ‘‘ගෝඨා දඩයම එකම අරමුණ’’ බවට ද පත්කර ගෙන ඇති බවට චෝදනා කරනවා.

මේ චෝදනා සඳහා පදනම වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බට වන විශ්වාසය සහ ඔහු සටනින් ඉවත් කිරීමට එජාපය ප‍්‍රමුඛ පාර්ශ්වවලට දැඩි අවශ්‍යතාවක් තිබෙන බවට වන සැකයයි.
එහෙත් මෙකී පරීක්ෂණ කඩිනම් කිරීම ගැන සහ එහිදී නීතිපතිවරයා දක්වන ඍජුභාවය ගැන බොහෝ දෙනෙක් තුළ පවතින්නේ ප‍්‍රසාදයක් බව සඳහන් කළ යුතුයි. ඒ නීතියේ ආධිපත්‍ය සක‍්‍රීයව පවත්වා ගෙන යාම සහ ඒ සඳහා නීතිපතිවරයා දක්වන ඍජු උන්නදුව අතිෂයින් වැදගත් සාධකයක් බවට පත්ව තිබීමයි.

ජනමත විචාරණය ගැන කතාව

පාස්කු ඉරිදා කාරක සභාව, ජනපති – කැබිනට් ගැටුම ආදී කාලීන දේශපාලන සිදුවීම් සමග යළිත් ජනමත විචාරණයක් ගැන සංවාදයක් ද දේශපාලන හා මාධ්‍ය අවකාශය තුළ සංවාදයට ලක් වෙමින් තිබෙනවා.

ජනමත විචාරණයක් පැවැත්වීමට හේතුව ගැන පැහැදිලි අදහසක් කිසිම පාර්ශ්වයක් විසින් ඉදිරිපත් නොවුණත් දේශපාලන හා මාධ්‍ය තුළ සන්නිවේදනය වන තොරතුරු අනුව නම් පැහැදිලි වන්නේ ‘‘ජනාධිපතිවරණය කල්දමා ගැනීම’’ මේ ජනමත විචාරණයේ මුඛ අරමුණ බවට පත්ව තිබෙන බවයි.

මෙහිදී පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේ ජනමත විචාරණයක් සඳහා යැමේ නීතිමය හැකියාවක් ව්‍යවස්ථාව මගින් ජනපතිවරයාට හිමිව තිබෙන බවයි.

ඒ බව ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවේ ඞෂෂෂ වැනි පරිච්ෙඡ්දය, 85. (1) වගන්තිය මගින් පැහැදිලි කර තිබෙනවා.

85(1: ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පනත් කෙටුම්පතක් බවට හෝ පනත් කෙටුම්පතක විධිවිධානයක් බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කොට ඇත්තා වූ සෑම පනත් කෙටුම්පතක් ම හෝ පනත් කෙටුම්පතක සෑම විධිවිධානයක් ම ද ජනමතවිචාරණයක දී ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු පනත් කෙටුම්පතක් බවට හෝ පනත් කෙටුම්පතක විධිවිධානයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත්තා වූ සෑම පනත් කෙටුම්පතක් ම හෝ පනත් කෙටුම්පතක සෑම විධිවිධානයක්ම ද ඒ පනත් කෙටුම්පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම්, ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ යුත්තේ ය’’

මේ අනුව ජනපතිවරයාට ජනමත විචාරණයක් සඳහා යාමට කිසිදු නෛතික බාධාවක් නැහැ.
ඒත් ප‍්‍රශ්නය වන්නේ සැබෑ ලෙසම මෙවැනි පියවරක් ගැනීම ගැන ජනපතිවරයා ඉඟියක් හෝ සපයා තිබේද යන්නයි. නැතහොත් මෙයත් ජනතාව නොමග යැවීම සඳහා වන ගොබෙල් මාධ්‍ය ප‍්‍රචාරයේ තවත් පියවරක් ද යන්නයි.

මේ සඳහා වන පැහැදිලි නිදසුන වන්නේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) ශ‍්‍රීලනිප කාන්තා නියෝජිතයින් සමග පැවැති සාකච්ඡුාවේදී කළ සඳහනයි. එහිදී ජනපතිවරයා කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බවයි. ඇතැම් මාධ්‍ය මෙය ‘‘ජනපතිවරණය තුන්කොන් සටනක් වෙන්නේ නෑ’’ යනුවෙන් ද උපුටා දක්වා තිබුණා.

මේ අනුව ද පැහැදිලි වන්නේ ඇතැම් මාධ්‍ය මේ වන විටත් වාර්තා කර ඇති ආකාරයට ජනපතිවරයා තම ව්‍යාවස්ථාපිත ප‍්‍රතිපාදන අනුව ජනමත විචාරණයකට නොයන බව පැහැදිලි කරුණක් බවයි.

ප‍්‍රති ත‍්‍රස්ත පනත

ප‍්‍රති ත‍්‍රස්ත පනත අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුවේ සූදානම වන්නේ හැකි ඉක්මනින් ප‍්‍රති ත‍්‍රස්ත පනත නීතියක් බවට පත්කර ගැනීමයි. ඒ සඳහා වන ආණ්ඩුවේ වුවමනාව අගමැතිවරයා විසින් පසුගිය කාලය පුරාම දැඩිව අවධාරණය කළ අතර අගමැතිවරයාගේ පසුගිය සිංගප්පූරු නිල සංචාරයේදී ද මේ ගැන සාකච්ඡුා කළ බවට වාර්තා පළ වුණා.

ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලියි. 1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් දේශපාලන, ආරක්ෂක හා ගෝලීය ප‍්‍රවණතාවලට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව ආණ්ඩුවේ අදහසයි. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් එල්ලා මරාදමන ලෙස දේශපාලන හා සමාජයීය වශයෙන් බලවත් ඉල්ලීමක් තිබුණත් ලංකාවේ වත්මන් නීිතිය අනුව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව එය කළ නොහැකි බවයි ආණ්ඩුවේ අදහස වන්නේ. එයින් අදහස් වන්නේ ‘‘ත‍්‍රස්තවාදීන් එල්ලා මරන්න නීති නෑ’’ කියන කතාවයි. ඒ නිසා මුළු ලංකාවම අමු සොහොන් බිමක් කළ කොටි ත‍්‍රස්තවාදීන් පමණක් නොව පාස්කු ඉරිදා ඉස්ලාම් ආගමික අන්තවාදීන්ට ද මරණ දඬුවම නියම කිරීමට අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන ලංකාවේ නීතිය තුළ නැහැ.

ඒ වගේම ලංකාවට එරෙහිව විදේශගතව සිට කුමන්ත‍්‍රණ කරන, ක‍්‍රියාත්මක වන පුද්ගලයින්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අවශ්‍ය නීතියක් ද ලංකාව තුළ නැහැ. මේ තත්ත්වය තුළ වත්මන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුව දැඩිව අවධාරණය කරනවා.

ඒත් මේ සඳහා විපක්ෂය තුළින් මෙන්ම සිවිල් සමාජයෙන් ද බලවත් විරෝධයක්, විවේචනයක් තිබෙනවා. ඔවුන්ගේ අදහස වන්නේ ආණ්ඩුව ප‍්‍රති ත‍්‍රස්ත පනත විපක්ෂය, කම්කරු ඇතුළු බලපෑම් කණ්ඩායම් දඩයම් කිරීමට යොදා ගැනීමේ අවදානමක් ඇති බවයි. ඔවුන් ඒ සඳහා මේ වන විට දැඩි සංවාදයට ලක්ව ඇති ‘‘2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය :ෂක්‍ක්‍ඡුඍ*ල වර්තමානයේ භාවිත වන ආකාරය උපුටා දැක්වීමට කැමැත්තක් දක්වනවා.

මේ සම්බන්ධ නිදර්ශන ඉදිරිපත් වන විට ආණ්ඩුවේ ප‍්‍රවේශය දුර්වල වුවත් නූතන ත‍්‍රස්තවාදයට, ගෝලීය අන්තවාදයට එරෙහිව සටන් කිරීමට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ඇති අප‍්‍රමාණභාවය ගැන බලවත් තර්කයක් නැහැ. ඒ හා සම්බන්ධව ඇත්තේ සාම්ප‍්‍රදායික විපක්ෂයේ විරෝධය මිස එයින් ඔබ්බට ගිය යමක් නොවන බව පැහැදිලි කරුණක්.
එනිසා අන්තවාදීන් එල්ලා මරදා දමනු කැමැති නම්, ශ‍්‍රී ලංකාවේ භූමියෙන් පිට සිට රටට එරෙහිව සිදුවන කුමන්ත‍්‍රණ, ත‍්‍රස්තවාද ක‍්‍රියා පිටුදැකීමට අවශ්‍ය නම් ප‍්‍රති ත‍්‍රස්ත පනතට අනුමැතිය ලබාදිය යුතු බවයි ආණ්ඩුවේ අදහස වන්නේ.

දේශපාලන ආතතිය

ඉහත සඳහන් සතියේ දේශපාලන සිදුවීම් සියුම්ව විශ්ලේෂණය කරන විට පැහැලිව පෙනී යන්නේ මේ මොහොත වන විට ලංකා සමාජය තුළ ව්‍යාධිගත දේශපාලන ආතතියක් තිබෙන බවයි. රජය විසින් පනවනු ලබන නීති නොතකා සිටීමට, ඊට අවනත නොවීමට යම් පිරිසක් සංවිධනාත්මකව මෙන් පියවර ගනිමින් සිටින බවයි.

මෙය බරපතළ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. විශේෂයෙන් රජය විසින් පනවන නීති නොතකා අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීමට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් පෙළඹෙන්නේ නම් එයින් සිදුවනු ඇත්තේ අරාජිකත්වයක් නිර්මාණය වීමයි. එය හුදකලා සිදුවීමක් වශයෙන් සිදු වුවත් එයින් සමස්ත සමාජයට සිදුවන බලපෑම සංකීර්ණයි.

මේ තත්ත්වය ජය ගැනීම සඳහා ආණ්ඩුවට මෙන්ම පොදුවේ සමාජයට ගත හැකි පියවර රැුසක් තිබෙනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත්විට යළි යළිත් අවධාරණය කළ යුතු වන්නේ වගකීම මෙන්ම වගවීමක් ද යථාවබෝධයෙන් සිදුවිය යුතු බවයි. ආණ්ඩුවක් තිබෙන බව ජනතාවට දැනෙනු ඇත්තේ එවැනි තත්ත්වයක් තුළින් පමණයි.

ජන සමාජයක් ලෙස ගත්විට මේ දේශපාලන ආතිතයේ ගොදුරු බවට ද ඒ සමග නිර්මාපකයෝ බවට ද පත්ව සිටිනේ පොදුවේ සමාජය බව කිව යුතුයි. පසුගිය 2015 ජනවාරි ජනපතිවරණය සටන පැවැති සමයේ නිර්මාණය කර ව්‍යාප්ත කළ දේශපාලන ප‍්‍රවාදයෙ තවමත් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ද බහුතර මාධ්‍ය සමාජය ද ගිලී සිටින බවක් දැකගත හැකියි.

විසංවාදය ප‍්‍රතික්ෂේප කරන, අධිපතිවාදය සහ අන්තවාදය කරපින්නා ගත් මේ සමාජ මතවාදය විසින් නිර්මාණය කර නඩත්තු කරමින් සිටින දේශපාලන ආතිතිය ඉදිරි මාස කිහිපය තුළ ද මේ ආකාරයෙන්ම ගමන් කර ජනපතිවරණ සමයේදී කූඨප‍්‍රාප්තියට පත්වනු ඇති බව නිසැකයි. ඒ 2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව ගත් ඒ ෙඓතිහාසික තීන්දුව යළි ආපසු හැරවීමේ ඒකායන අරමුණින් යුතුවයි. මේ අවස්ථාවාදී තත්ත්වයට ඍජු අභියෝගයක්ව නැඟී සිටීම මේ අවස්ථාවේ අප හමුවේ පවතින ඓතිහාසික කාර්යභාරය, නැතිනම් වගකීම බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුයි.

Recommended For You

About the Author: Editor