‘වඳ කතාව’ ගැන දිවයිනට තොරතුරු දුන් කුරුණෑගල DGI ගෙන් CIDය පැය 08ක් ප‍්‍රකාශ ගනී

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැනුවත් කිරීමකින් තොරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සම්බන්ධව ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම, එමගින් මහජන කැළඹීමක් ඇති කිරීම ආදි චෝදනා ලැබ සිටින කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අද දින (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මංකොල්ලකෑම් විමර්ශන අංශය කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැය අටකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති. තවදුරටත් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු වුවහොත් නැවත කැඳවනු ලබන බව ද ඔහු වෙත දැනුම් දී තිබේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළව සහ එම වෛද්‍ය ෂාෆිගේ වත්කම් පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ පරික්ෂණ සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇතැයි ද වාර්තා වේ.

‘‘සිංහල කාන්තාවන් 4000ක් වඳ භාවයට පත් කිරීම’’ සම්බන්ධ තොරතුරු තමන් වෙත ලබා දුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා බව මෙම වාර්තාව ලියූ දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුනු මහතා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කළ ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා පළවේ.

තමන් වෙත තොරතුරු ලබා දුන් මූලාශ‍්‍ර හෙළි නොකිරීමේ (අදාළ මූලාශ‍්‍රයේ අනුමැතියෙන් තොරව) මාධ්‍ය ආචාරධර්මය දිවයින මාධ්‍යවේදියා මෙන්ම ප‍්‍රධාන කර්තෘවරයා විසින් ද බිඳදමා ඇතැයි විවේචනයක් ද මේ සමග මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ තිබේ.

Recommended For You

About the Author: Editor