විදේශ උපදේශකයකුගේ පත් වීම සම්බන්ධයෙන් සභානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්

අද දින (2019.06.21)  සභානායක විසින් සභාගත කරන ලද  ප්‍රකාශය

විදේශ උපදේශකයකුගේ පත් වීම සම්බන්ධයෙන් 2019 ජූනි 19 වැනි බදාදා පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා දැනුවත් කිරීමට අවශ්‍යව ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කලක පටන් සංවර්ධන පාර්ශව කරුවන් හා සමග එක්ව කටයුතු කළ අතර වර්තමාන කථානායක එම තනතුරෙහි වැඩ භාර ගැන්මට පෙර පවා එය සිදු වී තිබේ.    වර්ෂ 2003 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන ආරම්භ කළ ව්‍යාපෘතියක් යටතේ ද උපදේශක වරුන්ගේ සේවය පාර්ලිමේන්තුවට ලබා දුන් අතර පසුගිය රජය සමයෙහි ද එම වැඩසටහන එසේ උපදේශකයින්ගේ සේවය ලබා දී ඇත.

කෙසේ වෙතත් වර්ෂ 2015 පටන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර සුවිසල් ප්‍රතිසංස්කරණ හමුවේ පෙර නොවූ අයුරින් සංවර්ධන හවුල් කාර ආයතන රැසක සහාය ලබා ගැන්මට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සමත් විය.

වර්තමානයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පහත දැක්වෙන ආයතන/සංවිධාන හා සහයෝගිත්වයෙන් බැදී සිටින බව සඳහන් කරමි.

1.     එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)

2.     එක්සත් ජනපද ආධාර (US Aid(DAI ආයතනය හරහා)

3.     වෙස්ට්මිනිස්ටර් පදනම – බ්‍රිතාන්‍ය

4.     ජාත්‍යන්තර ජනරජ ආයතනය – ඇ. එ. ජනපදය International Republican Institute

5.     පෙඩ්රික් නිවුමාන් පදනම – ජර්මනිය

6.     ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන  – එක්සත් ජනපදය National Democratic Institute

ඉහත කී සියලු ආධාර වැඩ සටහන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) මගින් සම්බන්ධීකරණය කෙරේ. එම සහයෝගිතා කටයුතු අධීක්ෂණය හා දියත් කිරීම සඳහා එම ආයතන මගින් දේශීය හෝ විදේශීය උපදේශකයින්ගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනේ. 

මීට අතිරේක වශයෙන් අප විසින් ශ්‍රී ලාංකීය නවෝත්පාදකයක් ලෙස රාජතාන්ත්‍රික පාර්ලිමේන්තු සහජීවනය (Parliamentary Diplomacy) නමින් සංකල්පයක් දියත් කරනු ලැබූ අතර මෙම සංකල්පය 2017 කොළඹ දී පවත්වන ලද සාර්ක් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සම්මන්ත්‍රණයේ දී ඒකමතිකව පිළිගැනිණ.  2019 කටාර්හි දී පවත්වන ලද ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්ෂික රැස්වීම් වාරයේ දී එම ව්‍යාපෘතිය ඒකමතිකව අනුමත කරන ලදි.  

ඒ අනූව අප විසින් ලොව පාර්ලිමේන්තු රාශියක් හා සමීප සබඳතා පවත්වනු ලබන අතර ගරු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් පවත්වනු ලැබේ.

එක්සත් ජනපද වැඩසටහන්  (DAI ආයතනය) තම ක්‍රියාකාරකම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, ආංශික අධීක්‍ෂණ කමිටු හා මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සිය අභිප්‍රාය කොට ඇති අතර ඇතැම් ස්වාධීන කොමිෂන් සභා වල වැඩසටහන් වල දී ද විශාල සහායක් ලබා දී ඇත. මෙම වැඩ සටහන ගැන 2017 දී පක්‍ෂ නායකයින් දැනුවත් කර ඇති අතර මෙම කටයුතු අධීක්‍ෂණය සඳහා සියලුම පක්‍ෂ නියෝජනය වන ආකාරයට අධීක්‍ෂණ කමිටුවක් ද පිහිටුවා ඇත. මෙම කමිටුව අවස්ථානුකූල ව රැස් වී අවශ්‍ය තීරණ ගනී.  

තොරතුරු තාක්‍ෂණය (Information Technology), පුස්තකාල හා කුසලතා වර්ධනය ආදී ක්‍ෂේත්‍රයන්හි වර්ධනයක් ලබාගැනීමෙහි ද ඔවුන්ගේ සහාය ලැබේ.

දැනට DAI විසින් සේවය ලබා ගන්නා උපදේශකයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට සහාය වන අතර ඔවුන් වනුයේ,

                           i.          රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් හා ආයතන අධ්‍යක්‍ෂ (මානව සම්පත් පිළිබඳ ජාත්‍යන්තර විශාරද) ජී. හෙට්ටිආරච්චි මහතා එක් අයෙකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කලක් තිස්සේ මානව සම්පත් සංවර්ධන අංශයක අඩුව පවතී. ඒ සඳහා විශේෂිත අංශයක් පිහිටුවීමට සැලසුම් කරමින් පවතී. එය බොහෝ ප්‍රමාද වූ අවශ්‍යතාවයකි.

                         ii.          අනෙක් නිලධාරියා වනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා විදේශ කිහිපයක හිටපු ජ්‍යෙෂ්ඨ තානාපතිවරයෙකු වූ ප්‍රසාද් කාරියවසම් මහතායි.

ඔහුගේ කාර්යභාරය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමත් අප රටට නව සංකල්පයක් වන ආංශික අධීක්‍ෂණ කමිටු ශක්තිමත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දුන්  “රාජ්‍ය තාන්ත්‍රික පාර්ලිමේන්තු සහජීවන (Parliamentary Diplomacy)” ව්‍යාපෘතියට අවශ්‍ය වන්නා වූ සහාය වීමත් ය.  මෙම පත්වීම දැනට අගෝස්තු මස දක්වා බලපවත්වයි. මොවුන් දෙදෙනාම දරණුයේ උපදේශක තනතුරු ය. 

DAI ආයතනය විසින් මෙම තනතුර සඳහා මුලින් තෝරා පත් කරන ලද්දේ හිටපු විදේශ ලේකම්වරයකු හා කීර්තිමත් තානාපතිවරයකු වූ ආචාර්ය අමුණුගම මහතා ය. එහෙත් පත්වීම භාර ගැන්මට දිනකට පෙර එතුමා අභාවප්‍රාප්ත විය. ප්‍රසාද් කාරියවසම් මහතා පත් කෙරුනේ ආචාර්ය අමුණුගම මහතා වෙනුවෙනි.  

සංවර්ධන හවුල්කාර හා ප්‍රජාතාන්ත්‍රික ආයතන සමග අප පවත්වනු ලැබූ සබඳතා මත ලත් අනුග්‍රහය හේතුවෙන් 2018 වසර වෙද්දී නවීන හා ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට අප පත් වූ බව පැහැදිලි කරුණකි.   

අපගේ ගරු මන්ත්‍රීවරුන් සඳහා මෙන්ම කාර්ය මණ්ඩලය සඳහා දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා රාශියක් දියත් කරනු ලැබූ අතර ඒවා මෙම දෙකොටසෙහිම ශක්නුතාව වර්ධනය (Capacity Building) සඳහා හේතු විය.

ගරු මන්ත්‍රීවරුන් කළ ඇතැම් විදේශ පුහුණු සංචාර මෙසේ ය.

–       ඉන්දියාව   

–       මහජන චීනය                     

–       ඇ. එ. ජනපදය                  

–       එක්සත් රාජධානිය 

–       ජර්මනිය                            

–       නෝර්වේ                           

–       යුරෝපා සංගමය    

–       ඉරානය                             

–       කැනඩාව

–       ඕමානය                 

–       ස්විට්සර්ලන්තය

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නිලධාරින් රාශියකට දේශීය හා විදේශීය පුහුණුව ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙමු. මෙම පුහුණු පාඨමාලා පාර්ලිමේන්තුවට වැය බරක් නොවු ඒවා ය. තව ද මෙම වැඩසටහන් පාර්ලිමේන්තුවට ‍බෙහෙවින් ඵලදායක වූ බව නොරහසකි.

පාස්කු සිද්ධියෙන් පසු මිල අධික ආරක්‍ෂක ආම්පන්න රාශියක් ද ගුවන් මගින් මිත්‍ර පාර්ලිමේන්තු අපට සපයා ඇත. මීට අමතරව පාර්ලිමේන්තු වාර්තාකරණයේ නියුතු වාර්තා කරුවන් පිරිසක් ද විදේශ අත් දැකීම් ලබා ගැන්මට සමත් වූහ.  

ලොව ප්‍රමුඛ පෙළ ප්‍රජාතාන්ත්‍රික ආයතන හා පාර්ලිමේන්තු සමග සමීප සුහද සබඳතා පවත්වා ගැන්මට හැකි වීම පිළිබඳ පාර්ලිමේන්තුවක් ලෙස අපි සතුටු වෙමු. 

ඊයේ එනම් ජූනි 20 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු රැස් වීමේ දී දැනට ක්‍රියාත්මක වන මෙම වැඩ සටහන් සඳහා සාමාජිකයන්ගේ පූර්ණ සහාය පළ විය.    

ලෝකයේ ආදර්ශමත් නවීන පාර්ලිමේන්තුවක් වශයෙන් අප උපයා ගත් ගෞරවය ආරක්‍ෂා කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පූර්ණ වශයෙන් කැප වන බවට ප්‍රතිඥා දෙමු.  

Recommended For You

About the Author: Editor