බුද්ධාගම පතුරවන්න අනෙක් ආගමිකයින් ඝාතනය කළේ නෑ – ඇමැති චම්පික රණවක

අන්‍ය ආගම්වල මෙන් බුද්ධාගම පතුරවන්න අනෙක් ආගමිකයින් ඝාතනය කළේ නැති බවත් සූත්‍ර පිඨකවල කිසිම තැනක අන්‍යාගමිකයින් ඝාතනය කරන්න කියලා සඳහන් වී නැති බවත් ඇමැති චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා පින්කම නිමිත්තෙන් බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථානයේ දී පැවති උත්සවයක් අමතමින් චම්පික රණවක මහතා මේ බව කීය.

අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ මහනායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඇමැතිවරයා මෙසේද කීය.

දැන් මේ රටේ විවාදයක් ඇති වෙලා තිබෙනවා මේ සිංහල බෞද්ධ රටක්ද කියල. මේ රට මොකක්ද කියල වටහා ගත යුතුයි. ඕනම ජාතියක කුලයක අයට මේ රටේ පදිංවි වෙන්න පුඵවන්. සංවිධාන වෙන්න ඡන්දය දෙන්න, ඡන්දය ඉල්ලන්න අයිතිය තිබෙනවා.

මේ රටේ ශිෂ්ඨාචාරය අනුව බලනවිට සිංහල භාෂාව අවුරුදු තුන්දහසකට කලිනුත් පැවතිලා තිබෙනවා. මේ බස තිබූ බව අනුරාධපුරයේ කරන ලද කැණීම් වලින් ලිඛිත සාක්ෂි හමු වී තිබෙනවා. මෙ බස මේ රටේ විතරක් පවතින බසක්. මේ බස කතා කරන ජනතාවයි මේ රටේ ශිෂ්ඨාචාරය හැදුවේ. ඒක තමයි ඇත්ත. අනෙක් භාෂාවන් සියල්ලම පිට රටින් ඇවිත් තිබෙන්නේ. මහාවංශය, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී පරිවර්ථනය කළාට පසුවයි අසෝක රජු ඉන්දියාවේ සිටි බව දැන ගත්තේ.

මේ රටේ භික්ෂු වංශය අනුරාධපුරයෙන් ආරම්භ වුණේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරල ලෝකයටම දුන්නේ අපියි. අන්‍ය ආගම් වගේ නොව බුද්ධාගම පතුරවන්න අනෙක් අය ඝාතනය කළේ නැහැ. ප්‍රචණ්ඩත්වය බලහත්කාර කම් පැතුරුවේ නැහැ. සූත්‍ර පිඨක වල කිසිම තැනක සඳහන් වෙලා නැහැ අන්‍ය ආගමිකයන් ඝාතනය කරන්න කියල. අවුරුදු දෙදහසකට කලින් අපේ රටේ ලොකුම ගොඩනැගිලි, රුවන්මැලි සෑය ආදිය ඉදි කළේ සිංහල බෞද්ධයෝ. ඒ උරුමය අපට තිබෙනවා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහ නායක අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහනාහිමි, ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී හිමි යන ස්වාමින් වහන්සේලාද මෙහිදී කතා කළහ.

Recommended For You

About the Author: Editor