සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සූදානම් : ‘දිවයින’ වාර්තාකරණයට එරෙහි දැඩි විවේචන

‘මේ සමග වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම සිංහල ජනමාධ්‍ය, විශේෂයෙන් දිවයින පුවත්පත් විසින් වාර්තාකරණය කරන ආකාරය ගැන ද සමාජය තුළ දැඩි කණස්සල්ලක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන් වෛද්‍යවරයාගේ බාලවයස්කාර දියණියන් දෙදෙනා ඉලක්ක කරගෙන සිදුවන සාවද්‍ය සහ මාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව සමාජ සම්මතයන් පවා අමු අමුවේ බිඳ දමමින් සිදුවන වාර්තාකරණය ගැන මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ද දැඩි විවේචනයක් පවතී”

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සියාබ්දීන් මහතා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, චෝදනා ගොනු නොකරමින් රඳවා තබාගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා මහත්මිය ‘‘ජූනි 23 අන්ද්දා’’පුවත්පතට ප‍්‍රකාශ කර ඇත.

මීට අමතරව සිය සැමියා චෝදනා ගොනු නොකර රඳවා තබා ගැනීම, එසේ අත්අඩංගුවෙන් අනතුරුව තමන්ගේ සහ තම දරුවන්ගේ එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පසුගිය සතියේ මානව හිමිකම් කොමිෂමට තමන් පැමිණිල්ලක් කළ බස වෛද්‍ය ඉමාරා වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය මැයි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව දින 28ක් තිස්සේ වෛද්‍ය සාෆි අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඔහු රඳවා තබා ගෙන ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝගයක් මත, බව ද අනිද්දා පුවත්පත වාර්තා කරයි.

වෛද්‍ය සාෆි මේ ආකාරයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නීතිඥයින් කිහිප දෙනකු අප සමග සඳහන් කළේ එය සිදු නොකළ යුතු දෙයක් බවයි. වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා විට පොලිසිය සඳහන් කළේ හෙළිකළ නොහැකි වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බවයි. එහෙත් මේ චෝදනා අයත් වන්නේ ‘‘වත්කම් බැරකම් පනත’’ යටතට බව කිය නීතිවේදීන් සඳහන් කරන්නේ වත්කම් – බැරකම් නීතිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවිය නොහැකි බවයි. අනෙක් අතට වඳ සැත්කම් සම්බන්ධයෙන් එල්ල වී ඇත්තේ චෝදනා පමණක් බවත් ඒ චෝදනා ද හෝ පැමිණිලි භාර ගැනීම, ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සිදුවන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු වීම ද නීතියට හෝ සදාචාරයට කොතරම් එකඟදැයි ඔවුහු ප‍්‍රශ්න කරති.

‘‘මේ ආකාරයෙන් චෝදනා යටතේ පමණක් පුද්ගලයෙක්, විශේෂයෙන් ජාතික වශයෙන් දැඩි අවධානයට යොමුවන කරුණක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. චෝදනා තිබේ නම් ඒවා විමර්ශණය කර, තහවුරු කරගත් පසුයි ඕනෑ සැකකරුවෙක් අත්අඩංගුවට ගත යුතු වන්නේ. ඒත් මේ සිදුවීමේදී පැමිණිලි සටහන් කර ගැනීම පවා සිදුවන්නේ අත්අඩංගුවට ගත් පසුවයි. තවම ඒ ගැන පරීක්ෂණ පවා ආරම්භ කර නැති තත්ත්වයක් තුළ මේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප‍්‍රශ්නකාරීයි’’ ඔවුහු සඳහන් කරති.

මේ සමග වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම සිංහල ජනමාධ්‍ය, විශේෂයෙන් දිවයින පුවත්පත් විසින් වාර්තාකරණය කරන ආකාරය ගැන ද සමාජය තුළ දැඩි කණස්සල්ලක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන් වෛද්‍යවරයාගේ දියණියන් දෙදෙනා ඉලක්ක කරගෙන සිදුවන සාවද්‍ය සහ මාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව සමාජ සම්මතයන් පවා අමු අමුවේ බිඳ දමමින් සිදුවන වාර්තාකරණය ගැන මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ද දැඩි විවේචනයක් පවතී.

Recommended For You

About the Author: Editor