ලංවිම කෝටි 10,000ක් පාඩුයි – ඇමැති රවී

දේශපාලනඥයින් මීට පෙර ගත් තීන්දු ක‍්‍රියාත්මක නොකිරීම නිසා රුපියල් 15 – 16 ට නිපදවිය හැකි විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 50-60ක් යන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංවිම රුපියල් කෝටි 10,000ක් පාඩු ලබා සිටින බවත් විදුලිබල ඇමැති රවී කරුණානායක මහතා අද කොළඹදී පැවැති උත්සවයකදී පැවසීය.

මෙහිදී ඇමැතිවරයා පැවසුවේ මේ ආකාරයෙන් අධි මිලට විදුලිය ජනනය කරමින් රටක් සංවර්ධනය කරන්නේ කෙසේද ? කියාය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති රවී කරුණානායක මහතා,

රටේ යටිතල පහසුකම් සපයන ප්‍රධාන ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය අද සිටින්නේ කෝටි 10,000 ක් පමණ පාඩු ලබන තත්ත්වයක. මෙම තත්ත්වය වෙනස් කරලා, මෙම කෝටි 10,000 රටේ සංවර්ධනයට, ස්වයං රැකියා ප්‍රවර්ධනයට යොදවන්න පුළුවන්නම්, මොනතරම් වෙනසක් සිදුවේවිද. නමුත් රටේ දේශපාලඥයින්  මීට පෙර ගත්ත තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපට විදින්න සිදුවෙලා තිබෙන්නේ. රු. 15.00 ට රු.16.00 ට නිපදවන්න පුළුවන් විදුලි ඒකකයක් නිපදවන්න රු. 40.00 රු. 50.00 ක් වියදම් කරන්නේ මොන අපරාදයක්ද.

අද සමෘද්ධි ලාභීන් ලක්ෂ 21 කට වෙන්කරලා තිබෙන්නේ රු.කෝටි 6700ක් පමණයි. නමුත් විදුලිබල අමාත්‍යාංශය රු. කෝටි 10,000  ක් නැති කරනවා මේ වගේ අධික මිලට විදුලිය ජනනය කරන්න. කොහොමද ඉතින් රටක් සංවර්ධනය කරන්නේ “

Recommended For You

About the Author: Editor