
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් තිදෙනකුට එරෙහිව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දිසා අධිකරණයේ පැවැරූ අපහාස නඩු තුනක් විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24) තීන්දු කළේය. ඒ එම අපහාස නඩු අද (24) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මැතිනිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් වූ ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, සුහද සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව යන අයට විරුද්ධව එම අපහාස නඩු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පවරා තිබිණ. පැමිණිකාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් නීතිඥ නිරෝෂා හේරත් මහත්මියගේ උපදෙස් මත ශෂිකා ද සිල්වා, සේමිණි පොතුවිල, චතුසලා ජයසිංහ යන නීතිඥ මහත්මීන් සමඟ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා පෙනී සිටියේය.
නඩුව කැඳවීම අවසාන වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යේෂ්ඨ අධිනීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා පැවසුවේ මෙම අපහාස නඩු විත්තිකාර තිදෙනාට වෙන් වෙන් වශයෙන් විරුද්ධව පවරා ඇති බවයි. “අර්ජුන රණතුංග ඇමතිතුමා මෙම අපහාස නඩු පවරලා තිබුණේ තමන් වරාය අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේ සිදුවීමක් පදනම් කරගනිමින්. ඒ කාලයේදී වරායේ තිබුණු වඩුමඩුවක පුද්ගලිකව භාණ්ඩ හදලා ඒවා ගෑනුන්ට දුන්නා කියලා වැරදි ප්‍රකාශයක් තුන් දෙනෙක් විසින් කරලා තිබුණා. ඇමතිතුමා එම කාරණා පිළිබඳව ඒ තුන්දෙනාට විරුද්ධව අපහාස නඩු තුනක් පවරලා තියෙනවා එක් අයකු මිලියන පන්සියයක් අලාභ වශයෙන් ගෙවන්න කියලා. ඒ නඩුවේ පළමුවැනි විභාග දිනය අද. අද නඩුවේ මූලික පියවර සිදු කරලා වෙනත් දිනයකට සාක්ෂි සඳහා නියම කළා…”යිද ජ්‍යේෂ්ඨ අධි නීතිඥ අතුල බණ්ඩාර හේරත් මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය. නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් නවවැනිදාට නියම කෙරිණ. මාධ්‍ය නිවේදනය අමුණා ඇත. හඬපටයට මේ ලින්ක් එකට යන්න..