දැන් රට පාලනය කරන්නේ කතානායකවරයා ද ? – අනුර ප‍්‍රියදර්ශන යාපා

රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ තියෙන අකාර්යක්ෂමතාවය ගොඩනගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් සහ වැඩපිළිවෙළක් පිළිබඳව පොදුජන පෙරමුණ අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා යැයි පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කියයි.

අද (25) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා,

රටේ ජනතාව තුළ තියෙන්නෙත් බලාපොරොත්තු කඩ වීමක්.   රජයේ කිසිම කෙනෙක් කිසිම කතාවක දී මේ ගැන කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. මේ නිසා ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ජනාධිපති අපේක්ෂකයාට ප්‍රධාන ප්‍රශ්න තුනකට උත්තර දෙන්න සිද්ධ වෙනවා.

එකක් රටේ ජාතික ආරක්ෂාව රැකගන්නෙ කොහොමද කියන එක. දෙවැනි එක තමයි ජාතික ආර්ථිකය ගොඩනගලා වඩා හොඳ සුබදායි අනාගතයක් ජනතාවට දෙන්නේ කොහොමද කියන එක. තුන් වෙන එක තරුණයින් සඳහා වන ආර්ථික ක්‍රියාවලිය කුමක්ද කියන එක. ජාතික ආරක්ෂාව ඉතා වැදගත්. ඒක නොතකා ඔහේ ඉබාගාතේ රටට යන්න දුන්න එකේ ප්‍රතිඵලය තමයි ඉතාම කුඩා කණ්ඩායමක් ආගමික අන්තවාදය මතු කරලා මේ රට ඇතුළේ විශාල පීඩනයක් එල්ල කරපු එක.

ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. කෘෂිකර්මය කඩාවැටිලා. සියළුම කෘෂි නිෂ්පාදන වල මිල සම්පූර්ණයෙන්ම පහත වැටිලා. මේ පවතින කාලගුණ විපර්යාසයන් මැද ඉදිරියේ ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා. නමුත් ඒ හා සමග නිෂ්පාදනය ඉහළ දමන්න රජය කිසි දෙයක් කරන්නේ නැහැ. සුළු අපනයන බෝග සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. විකුණගන්න බැරිව වවන්නේ මොකටද කියලා ගොවියෝ අහනවා.

අපි පිළිගන්න ඕනේ අපේ රටේ අද අලුත් තරුණ පරම්පරාවක් හැදිලා තියෙනවා.  පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ පිරිස් අපේ රටට ආපහු එන්නේ නැහැ. ඒ අය කැමති නැහැ දේශපාලඥයන් ගේ පස්සේ ගිහිල්ලා රස්සාවල් ගන්න.

අපේ දේශපාලන ක්ෂේත්‍රය තුල තියෙන අකාර්යක්ෂමතාවය ගොඩනගන්න පුළුවන් ජනාධිපතිවරයෙක්, වැඩපිළිවෙළක් පිළිබඳව පොදුජන   පෙරමුණ කටයුතු කරල තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා.

අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහතා, සජිත් ප්‍රේමදාස  යන මහත්වරුන් ගැන  ප්‍රසිද්ධියේ කතා කරනවා. මේ කවුරුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් විවේචනය කිරීමේ අයිතිය අපට තියෙනවා.

අද මේ රට ඇත්තටම පාලනය කරන්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද එහෙම නැත්තං අලුතෙන්ම රට පාලනය කරන කතානායකවරයාද කියන එක කවුරුත් දන්නෑ. මේක අද තුන්  ඈඳුතු නවකතාවක් වෙලා තියෙනවා. මේ තුන් දෙනාම දන්නෙ නෑ තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා.

පසුගිය සතියේ නිවාස අධිකාරිය හතළිස් වන සංවත්සරය පැවැත්වූවා. අවුරුදු හතළිහක දී  නිවාස අධිකාරිය තුල ජනාධිපති ප්‍රේමදාස මහතා කළ ක්‍රියාකාරිත්වය ඒ කියන්නේ හුදකලාව ගෙවල් සෑදීමේ ක්‍රමවේදයෙන් ඉවත් වෙන්න පුතාටවත් බැරිවෙලා තියනව. හුදකලා ගෙවල් ටිකක් ඉඩම් ගොඩ කරමින් කැළෑ කපමින් හදන බව අපට පේනවා. ඒවත් මිනිස්සුන්ට ණය දීලා තමයි කරන්නෙ. මේ වෙනුවට අද අපේ රටට  ගැලපෙන විදිහට ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යයි. අපේ භූමි ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා.  කෟෂි කාර්මික ඉඩම් විශාල වශයෙන් නිවාස තැනීමට යොදනවා. ඊට වෙනස් වන  දියුණු  ලෝකයේ වැඩි පිළිවෙළක් හදාගන්න අවුරුදු හතලිහකට පස්සෙත් නිවාස අධිකාරිය අසමත් වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව ස්වදේශිකයින් මත රැඳුණු පරිපාලන තන්ත්‍රය ක්‍රමානුකූලව බාහිර විදේශීය බලවේගවලට පවරා දෙමින් ඉන්නවා. මේක අපිට පේන්නෙ නැහැ. නමුත් එක සිදුවෙනවා. මේ නිසා තමයි අපේ රටේ පාලකයින් බොහොම දුර්වල පුද්ගලයින් ලෙස ක්‍රියා කරන්නේ. අපේ රටේ පාලන තන්ත්‍රය තුළ තිබෙන ස්වදේශික තත්ත්වය ස්වයිරිත්වය අපි ආරක්ෂාකරගත යුතුයි. පුළුවන් රටවලින් ආධාර උපකාර ගන්න ගමන් රටවල් වල මිත්‍රත්වය පවත්වා ගෙන යන ගමන් ගෝලිය වශයෙන් රටවල ණයකාරයන් බවට පත්වෙන එකෙන්  වලකින්න අවශ්‍යයි. අපේ ජාතික ආර්ථික ක්‍රියාවලිය හසුරු වීමේ බලය ඔවුන්ට ලබා දෙන්න කොහෙත්ම හොඳ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව හැම අතින්ම දුර්වල ආණ්ඩුවක් කියලා. දුර්වල ආණ්ඩුවක් තියෙන හැම විටම බාහිර බලපෑම් බහුල වෙනවා.  ශක්තිමත් ආණ්ඩුවක් තියෙන හැම මොහොතකම මේ බාහිර බලපෑම් අවම වෙනවා.

ඊළඟට අපෙන් පත්වන ජනාධිපති අපේක්ෂකයාට ඒ වගකීම පැවරීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපි සියලු දෙනාම එකතුවෙලා ඉන්නවා.

Recommended For You

About the Author: Editor