සෆී ගැන සොයන්න ජනපති පරීක්ෂණ කොමිෂමක් ඉල්ලා ඉරිදා දිවයින කර්තෘ කළ යෝජනාව ජනපති ප‍්‍රතික්ෂේප කරයි

කුරැණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆී විසින් සිදුකළ බව කියන කාන්තාවන් වඳභාවයට පත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂමක් පත්කරන මෙන් ‘ඉරිදා දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතා ජනපතිවරයාට කළ යෝජනාව ජනපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අද පෙරවරුවේ ජනපති කාර්යාලයේදී ජනපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර පැවැති හමුවේදී සොලමන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් ජනපතිවරයා පවසා ඇත්තේ අදාළ පරීක්ෂණ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කටයුක්තක් බැවින් ඒ සඳහා තවත් මැදිහත්වීම් අනවශ්‍ය බවයි.

හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ අදහස් දක්වා ඇති ජනපතිවරයා යළි හදිසි නීතිය දීර්ඝ නොකරන බවත් මේ වන විට අත්අඩංගුවේ සිටින පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් තව දුරටත් රැඳවා ගැනීම සඳහා කඩිනමින් නීති සම්පාදනය කර ගන්නා බව ද පවසා ඇත.

ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති බව බොහෝ රටවල් විසින් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට එරෙහිව පනවා තිබූ අවදානම් නියෝග ඉවත්කර ගැනීමෙන් පැහැදිලි වන බව කී ජනපතිවරයා ඉන්දීය අගමැතිවරයා පැය කිහිපයකට හෝ ලංකාවට ගෙන්වා ගැනීමට තමා පියවර ගත්තේ රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවට ලෝකයට පණිවිඩයක් ලබාදීමට බව ද ප‍්‍රකාශ කළේය.

අද සවස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වන බව කී ජනපතිවරයා එහිදී වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරන බව ද සඳහන් කළේය.

ඉදිරි ජනපතිවරණය සඳහා ජනපතිවරයාගේ ඉදිරිපත්වීම ගැන මාධ්‍ය ප‍්‍රධානියෙකු කළ විමසීමේදී ජනපතිවරයා කියා සිටියේ ඒ ගැන තීන්දුවක් ගැනීමට තව කල් තිබෙන බවත් අනෙක් දේශපාලන පක්ෂ විසින් ද තවම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කර නැති බවයි.

Recommended For You

About the Author: Editor