නවසීලන්තයේ අපරාජිත ගමන පාකිස්ථානුවෝ නතර කරති

‘‘බ්‍රෝ… ක‍්‍රිකට් කියන්නේ ක‍්‍රිකට්’’ එහෙම කිව්වේ මගේ හොඳම යාළුවෙක්. මිනිහට ක‍්‍රිකට් පිස්සෙක් කියනවට වඩා අපි කියන්නේ ‘‘ක‍්‍රිකට් කුඞ්ඩා’’ කියලා. ඒ ක‍්‍රිකට්වලට ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්න නිසා.

අපේ යාළුවා පසුගිය දවස්වල හිටියේ තෝන්තුවාවෙන් වාගේ. ඒ ශ‍්‍රී ලංකාව කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වුණ නිසා. ඒත් එංගලන්තයට එරෙහිව ලැබූ ජයග‍්‍රහණය සමග මිනිහා නියං කාලේ වැස්සක් වැස්සට පස්සේ ගස් වැල් පණ ලබනවා වාගේ පණ ගහලා ආවා. ඒ අතරේ ඊයේ නවසීලන්ත – පාකිස්ථාන තරගෙන් පස්සේ ටී.වීඒක ඕෆ් කළේ මුලින්ම සඳහන් කළ ‘‘ බ්‍රෝ, ක‍්‍රිකට් කියන්නේ ක‍්‍රිකට්’’ කියාගෙන.

ලෝක කුසලානය ආරම්භ වන විට ක‍්‍රිකට් විචාරකයින් කළ ගණන් බැලීම් දැන් එකින් එක බිඳ වැටෙමින් තිබෙනවා. සුපිරි යැයි කිව්ව දකුණු අප‍්‍රිකාව කලින්ම ගෙදර ගියා. ලෝක කුසලාන එංගලන්තෙම තියා ගනියි කියලා හිතාගෙන ඉහළින්ම හිටිය එංගලන්තයේ සුපිරි ගමන ගැන දැන් දැන් සැක සංකා මතුවෙලා. බෙංගාලි ව්‍යාඝ‍්‍රයෝ පිම්මක්ම පැන්නා.

මේ අතර පසුගිය සති කිහිපය පුරාම ‘‘අපරාජිත’’ යැයි ලේබල් ගසාගෙන හිටිය නවසීලන්තයේ අභිමානය පාකිස්ථානය ඉදිරියේ කීතු කීතු වෙලා ගියා. හෙට මෙනවා වෙයිද ? කියලා කියන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. සමහර විට හෙට (28) දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන තරගයෙන් පස්සේ ශ‍්‍රී ලංකාවේ ඉරණමත් ලියවෙන්න පුළුවන් බවයි පැහැදිලිව පෙනී යන්නේ.
නවසීලන්ත – පාකිස්ථාන තරගය

ඊයේ (26) එංගන්තයේ බර්මින්හැම්හිදී අපරාජිත නවසීලන්තය සහ දැඩි පසුබෑමක සිටින පාකිස්ථානය මුහුණට මුහුණ හමුවුණා. නවසීලන්තය සිටියේ අපරාජිතව නිසා ඔවුන්ට තරගය ගැන දැඩි විශ්වාසයක් තිබෙන්න ඇති.

පළමුවෙන්ම පන්දුවට පහර දුන්නේ නවසීලන්තය. ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන පාකිස්ථානයට දැවැන්ත අභියෝගයක් ලබාදීමයි නවසීලන්තයේ අරමුණ වුණේ.

එහෙත් නවසීලන්තයේ බලාපොරොත්තු අනපේක්ෂිත ලෙස බිඳ වැටුණේ පාකිස්ථාන පන්දු යවන්නෝ සුපුරුදු පරිදි දැක්වූ දැඩි ආක‍්‍රමණකාරී බව නිසයි. ශහීන් අෆ්රිඞී, මොහොමඞ් අමීර් වගේම ශාබාබ් ඛාන් ඒ අතර පෙරමුණේ සිටියා.

ඒ අනුව නවසීලන්තයේ මුල්පෙළ කඩුළු 05ක් ලකුණු 83කට දැවී ගියත් කේන් විලියම්සන් හුදකලා ඉනිමක් ගොඩනගන්න උත්සාහා කළා. ඔහු පන්දු 69කදී ලකුණු 41ක් ලබා ගත්තා.
ඒ අතර 6 වැනි කඩුල්ල සඳහා යළි බලාපොරොත්තු දැල් වුණා. ජේම්ස් නිසම් සහ කොලින් ඩිග‍්‍රැන්ඞ්හෝම් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 132ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවා. ජේම්ස් පන්දු 112කදී නොදැවී ලකුණු 97ක් රැස් කළා. කොලින් පන්දු 71කදී ලකුණු 64ක් ද නවසීලන්තය වෙනුවෙන් වාර්තා කළා.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසන් වන විට නවසීලන්තය හමුවේ වාර්තා වුණේ කඩුළු 06කට ලකුණු 237ක් වැනි බලාපොරොත්තු තබාගත නොහැකි අඩු ලකුණු අගයක්.
පාකිස්ථානය සුපුරුදු ලෙස..

ලකුණු 237ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන මුල්පෙළ පිතිකරුවෝ වාසනාවන්ත වුණේ නැහැ. පාකිස්ථාන මුල්පෙළ ආ පසින්ම ක‍්‍රීඩාගාරයට යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කිරීමට බාබර් අසාම් සමත් වුණා. ඔහු පන්දු 127කදී 4 පහර 11ක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළා. මොහොමඞ් හෆීස් 32, හැරිස් සොහීල් 68 වශයෙන් පාකිස්ථාන ඉනිම ඔසවා තැබීමට ක‍්‍රියා කළා.

අවසානයේ, පන්දු වාර 49.1ක දී පාකිස්ථානය කඩුළු 04කට ලකුණු පුවරුවේ 241ක් වාර්තා කරමින් නවසීලන්තයේ අපරාජිත ගමන අවසන් කළා.

මේ සමග 07 වැනි ස්ථානයේ සිටි පාකිස්ථානය 06 වැනි ස්ථානය දක්වා ඉහළට ආවා. නවසීලන්තය එක් පරාජයක් පමණක් සහිතව තව දුරටත් 02 ස්ථානයේ රැුඳී සිටිනවා.

හෙට ශ‍්‍රී ලංකාව අවාසනාවන්ත, යළි ඉදිරියක් ගැන කිසිසේත් සිතාගත නොහැකි දකුණු අප‍්‍රිකාව සමග ගැටෙනවා. අපේ ප‍්‍රාර්ථනාව වන්නේ දකුණු අප‍්‍රිකාවේ අවාසනාව ඛේදවාචකයක් කිරීමට ශ‍්‍රී ලංකාවට වාසනාව සහ හැකියාව උදා වේවා යන්නයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor