මරණ දණ්ඩනය ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තිබෙනවාද කියන එක ගැටළුවක් – ඇමති චම්පික රණවක

නීතිය හැමට එක ආකාරයට සීග‍්‍රයෙන් කි‍්‍රයාකාරී වෙන්නේ නැහැ / ඉදිරි ජනාධිපතිවරණය වෛරය මත නෙමෙයි ප‍්‍රතිපත්ති මත තීරණය කරන ජනාධිපතිවරණයක් විය යුතුයි/ අපේ අමාත්‍යාංශය අපි නිකං බඩු බෙදන හෝ ජනතාවට යම් යම් දේ නොමිලේ ලබාදීලා අත හෝදගන්න අමාත්‍යාංශයක් නෙමෙයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අමාත්‍යාංශයේ සුඛිත පුරවර ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 79 ක වියදමින් ඉදිකළ කැකිරාව පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද පාර්ලිමේන්තුව ඉදිරියේ අභියෝගයක් තිබෙනවා. එය තමයි හැකි ඉක්මනින් මේ නීති සම්පාදනය කරලා ශක්තිමත් නීතිපද්ධතියක් ඇතිකරලා එළඹෙන ජනාධිපතිවරණය වෛරය මත නෙමෙයි ප‍්‍රතිපත්ති මත තීරණය කරන ජනාධිපතිවරණයක් කරන එක. මේ ක‍්‍රමයට ගියොත් එළඹෙන ජනාධිපතිවරණය තීරණය වෙන්නේ වෛරය මත, ත‍්‍රස්තවාදයේ බලපෑම මත, එයින් ඇතිවන බිය මත. ඒ වෙනුවට රටේ ණය ගෙවන්නේ කොහොමද. අනුරාධපුරයේ ජල ප‍්‍රශ්නය විසඳන්නේ කොහොමද, දරුවන්ට රැකියා ලබාදෙන්නේ කොහොමද, රට ඔදවත් තෙදවත් රටක් කරන්නේ කොහොමද කියන ප‍්‍රතිපත්ති කතාකරන ජනාධිපතිවරණයක් අපට  ඕනේ නම් හැකි ඉක්මනින් නීති පනවලා මේ ත‍්‍රස්තවාදයේ ඉතිරි බිතුරු ටිකත් නැති කරලා දාලා රටේ ශක්තිමත් තත්වයක් ඊ ළඟ මාස දෙකේ ඇතිකර ගත යුතුයි. ඒ අභියෝගය පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවලට තිබෙනවා.

ඒ වගේම මේ දිනවල මේ මරණ දණ්ඩනය ගැන කතා වෙනවා. මරණ දණ්ඩනය දෙනවා කියන එක අපි බෞද්ධයෝ හැටියට කල්පනා කරලා බැලූවොත්, ජීවිතය කියන එක ගත්තොත් ආපහු හරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා මේ ප‍්‍රශ්නයට ඔව්, නෑ කියලා උත්තර දෙන්න අමාරුයි. මරණ දඬුවමට පක්ෂද, විරුද්ධ ද කියලා උත්තර දෙන්න අමාරුයි.

එක් පැත්තකින් මේ රටේ නීතියේ ගැටළුවක් තිබෙනවා. නඩුවක් සාමාන්‍යයෙන් අහලා ඉවර කරන්න අවුරුදු දාහතාමාරක් යනවා. අවුරුදු ගණන්, දශක ගණන් යනකොට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ නිසාම අපරාධ කරන්න, මත්ද්‍රව්‍ය ගෙන්නන්න, මිනී මරන්න, පාතාල කල්ලිවලට එතනොල්, මෙතනෝල් විකුණන්න කිසිම බයක්, සැකක් නැහැ. ඒ වගේම ඒවා දේශපාලනයට එන්නත් කිසිම බයක් සැකක් නැහැ. ඒ නිසා ඒකේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් මරණ දණ්ඩනය ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තිබෙනවාද,  ඕනෙම නඩුවක් වසර තුනකින් අහන්න පුළුවන් නීති පද්ධතියක් මේ රටේ හදා ගන්න එක තමයි වැදගත් සහ මූලික කාරණය. ඒ කාරණය ඉටු නොකරයි අපි ගමන් කරන්නේ.

ඒ වගේම අපි මතක තබා ගත යුතුයි මේ කාරණය ගැන උනන්දු වෙන සමාජයන් තිබෙනවා. මේ රටෙ ප‍්‍රශ්නයක් තිබෙනවා ඒ ප‍්‍රශ්නය මරණ දණ්ඩවලින් විසඳන්න පුළුවන් එකක් නෙමෙයි, නීතිය කි‍්‍රයාත්මක වීම කාර්යක්ෂම නැහැ. නීතිය කි‍්‍රයාත්මක වීම අපක්ෂපාතී නැහැ. නීතිය කි‍්‍රයාත්මකවීම ආණ්ඩුව ස්වාධින කලා. අධිකරණය විනිසුරන් පත් කිරීමට දේශපාලන අතපෙවීම් අද නැහැ. හැබැයි නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව සීග‍්‍රයෙන් කි‍්‍රයාකාරී වෙන්නේ නැහැ

මෙම ව්‍යාපෘතිය මෙම රජය යටතේ වසර එකහාමාරකට කලින් මෙම වැඩ ආරම්භ කරලා ඔබගේ පහසුව තකා ජනතා අයිතියට පත් කරනවා. රජය විසින් මෙම අරමුදල් යොදවා තිබෙන්නේ. එම අරමුදල් වලින් උපරිම ප‍්‍රයෝජනය අපේ ජනතාව, විශේෂයෙන්ම වෙළෙඳ ප‍්‍රජාව ලබාගනියි කියා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානය නිවැරදිව නඩත්තු කරලා මේ පළාතේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් වෙයි කියා මා ප‍්‍රාර්ථනා කරනවා. කඩ හදන එක ලේසියි, කඩ බෙදන්න ගියහම තමයි ගැටළුව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී ප‍්‍රාදේශීය සභාවේ, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු සියළු දෙනා එකතු වෙලා විවෘත ක‍්‍රමවේදයකට සුදුස්සන්ට ඒ කඩ ලබාදෙන්න කියලා. ඒ මගින් රජය වැය කළ මුදල්වලට යුක්තිය ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපේ අමාත්‍යාංශය අපි නිකං බඩු බෙදන හෝ ජනතාවට යම් යම් දේ නොමිලේ ලබාදීලා අත හෝදගන්න අමාත්‍යාංශයක් නෙමෙයි. අපි ආදායම් උපදවන, ලාභ උපදවන අමාත්‍යාංශයක්. රටේ ආර්ථිකය වෙනස් මගකට ගන්න විදේශ ආයෝජන ගෙන එන අමාත්‍යාංශයක්.

නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය අවුරුදු තුනේදී ආදායම දෙගුණයකින් වැඩිකරගෙන තිබෙනවා, ලාභ තුන් හතරගුණයකින් වැඩිකරගෙන තිබෙනවා. ඒවා අපිට ගෙදර ගෙනියන්න නෙමෙයි. අපේ ජනතාවගේ ව්‍යාපෘතිවලට ප‍්‍රති ආයෝජනය කරන්න. ඒ නිසා මේ රටේ රාජ්‍ය අංශයේ ආයතන ගෙනයන්න බැහැ. පාඩුයි. සල්ලිකන බහිරවයෝ ආදී වශයෙන් තිබූ මත අපි භාරගත්ත හැම අමාත්‍යාංශයකම වෙනස් කළා. ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි විශාල ආයතනවල ඉඳන් අපේ පාලනය යටතේ තිබූ සෑම ආයතනයක්ම දියුණු කර පෙන්වා දුන්නා.

මේ රටට ඉදිරිය කරා යනවා නම් වියදම් කරන දේශපාලනය විතරක් හරියන්නේ නැහැ. ආදායම් උපදවන දේශපාලන අත්‍යාවශ්‍යයි. අද රුපියලක් සංවර්ධණයට වියදම් කරන විට රුපියල් 3 ක් ණය ගෙවන්න තිබෙනවා. මේ වසර, එළඹෙන වසර, 2023 දක්වා රටේ ආදායමින් 90% කට වඩා වැය වෙන්නේ ණය ගෙවන්න. ඒ නිසා රටට එවැනි ණය බරකින් යුතුව ඉදිරියට යන්න බැහැ. ඇයි රට එච්චර ණය වෙලා තිබෙන්නේ. ආදායම් ඉපදවෙන්නේ නැති තැන්වල ආයෝජනය කිරීම නිසා තමයි මේ ණය බර අපට වැඩිවෙලා තිබෙන්නේ.

ඒ නිසා ඇහැට කණට පේන්න, විශාල අධිවේගී මාර්ග, වරායවල්, ගුවන්තොටුපලවල්. ක‍්‍රීඩාංගන, සම්මන්ත‍්‍රණ ශාලා, උත්සව ශාලා, පොදු ස්ථාන, උද්‍යාන ඉදිකළාට වැඩක් නැහැ ආදායම් ඉපදවෙන්නේ නැත්නම්. අන්තිමට මොකද වෙන්නේ පරිප්පු, සීනි, කිරිපිටිවලින් ලබාගන්න බදු වලින් තමයි ඒ නාස්තිකාර සංවර්ධනයට ගෙවන්න සිදුවෙන්නේ. ඒක තමයි අද අපේ රටට අත්වෙලා තිබෙන ඉරණම.

ඒ නිසා ලබන දෙසැම්බර් මාසයේ පවත්වන ජනාධිපතිවරණයෙන් පත් වෙන කවර නායකයාට උනත් විශාල අභියෝගයක් තිබෙනවා ඔහුගේ ධූර කාලය ඇතුළත ඊ ළඟ වසර හතර පහ තුළ රට බංකොලොත් නොවී පවත්වා ගන්න. රට දියුණු කරන්න නෙමෙයි, රට බංකොලොත් නොවී වෙලාවට ණය ගෙවලා පවත්වාගන්න එකම අති විශාල අභියෝගයක්. ඒක අපි සියළු දෙනාම මතක තබා ගත යුතුයි.

ඒක තමයි අද අපේ රටට අත්වෙලා තිබෙන ඉරණම. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයේ පවත්වන ජනාධිපතිවරණයෙන් පත් වෙන කවර නායකයාට උනත් විශාල අභියෝගයක් තිබෙනවා ඔහුගේ ධූර කාලය ඇතුළත ඊ ළඟ වසර හතර පහ තුළ රට බංකොලොත් නොවී පවත්වා ගන්න. රට දියුණු කරන්න නෙමෙයි, රට බංකොලොත් නොවී වෙලාවට ණය ගෙවලා පවත්වාගන්න එකම අති විශාල අභියෝගයක්. ඒක අපි සියළු දෙනාම මතක තබා ගත යුතුයි.

ඊ ළඟට මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මේ රට ආගමික වශයෙන් බෙදෙන්න යනවා. මේ ප‍්‍රශ්නය අපි විසඳන ක‍්‍රමය මත, මාස තුනෙන් විසඳගන්න පුළුවන්, අවුරුදු තුනෙන් විසඳාගන්න පුළුවන්, අවුරුදු තිහෙන් විසෙඳෙන්නේ නැතිව තිබෙන්නත් පුළුවන්.

ඒ නිස අපි මතක තබා ගත යුතුයි, අන්තර්ජාතික ත‍්‍රස්තවාදයක්, මිනිසුන් ගැන තකන්නේ නැති, දරුවෝ ගන තකන්නේ නැති, කාන්තාවෝ ගැන තකන්නේ නැති ත‍්‍රස්තවාදයක් රටට අත තියලා තිබෙනවා. අද අවුරුදු 30ක් මේ රටේ ලේ වගුරවපු එල්.ටී.ටී.ඊ මීනි මරුවන් රටෙන් පැනලා ගිය පිරිස් අද අත්වැල් බැඳගෙන ඉන්නවා අයිසිස් ත‍්‍රස්තවාදය සමග විදේශ රටවල. නමුත් අද මේ රටේ මේ ත‍්‍රස්තවාදී අභියෝගය ඉදිරියේ ලංකාවේ දෙමළ, සිංහල, මුස්ලිම් මිනිස්සු අද අත්වැල් බැඳගෙන තිබෙනවා. විදේශ ගතව ලංකාවට එරෙහි කුරිරු ප‍්‍රචාර කරන්න අයිසිස් හා හිටපු එල්.ටීටී.ඊ කල්ලි අත්වැල් බැඳ ගත්තට මේ රට ඇතුලේ ඒ වැදගත් ජාතික සමගිය ඇතිකරගෙන තිබෙනවා.

ඒ වගේම මේ රට එක රටක් කරන්න, මේ රටේ බෙදුම්වාදය පරාජය කරලා, රට එක් සේසත් කරන්න 26,000 ක් ජීවිත පූජා කළා. ඒ ජීවිත පූජා කළේ ලොකු පවුල්වල මිනිසුන් පමණක් නෙමෙයි, අනුරාධපුරේ, කුරුණෑගල ආදී අපේ ගම්වල ගැමි දරුවෝ තමයි රණ බිමේ යුද්ධ කරලා මේ රට එක් සේසත් කළේ.දැන් මේ රටට අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය තමයි ඒ හදපු ඒකීය රටේ එක නීතියක් යටතේ එක ශ‍්‍රී ලාංකික ජනතාවක්, එක ශ‍්‍රී ලංකික සමාජයක් ගොඩනගා ගැනීමේ අභියෝගය. අපට නිති වර්ග කිහිපයක් තියෙන්න බැහැ. එක් එක් ජනවර්ගවලට, කුලවලට, ප‍්‍රදේශවලට එක් එක් නීති තියෙන්න බැහැ. එක් එක් විවාහ නීති, මරණ නීති, අපරාධ නීති, දික්කසාද නීති, ඉඩම් නීති  තියෙන්න බැහැ. සෑම කෙනෙක්ම පොදු නීතියකට යටත් විය යුතු කාලය එළඹ තිබෙනවා. මේ රටේ අපි ජීවත්වනවා නම් අපේ බස කතා කරන්න, අපේ අධ්‍යාපනය ලබන්න, අපේ සංස්කෘතිය මත කි‍්‍රයා කරන්න අපි සියළු දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුයි.

අපි මේ පුංචි රට ඇතුලේ පුංචි පුංචි මිනිස් දූපත් හදාගෙන වෙන් වෙලා, ඒවයේ වෙනම සංස්කෘතීන්, නීති පද්ධති ඇතිකර ගන්න ගියොත් මේ රටට ගමනක් නැහැ. ඒක නිසා මේ රටේ ජනතාව ජනතාව බියෙන් ඉන්නේ. ජනතාව තුළ සැකය, ආතතිය ඇතිවී තිබෙනවා. ඒ නිසා පළවෙනි දේ තමයි මේ සැක බිය දුරු කරන්න.

ත‍්‍රස්තවාදයට ගමන් කළ සුළු පිරිසක් ඉන්නවා, විදේශ රටවලින් ප‍්‍රකෝටි ගණන් ධනය ඒ පිරිසට ඇවිත් තිබෙනවා. ඒ අය අතිවිශාල දේපල ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. මේ පිරිස් ඒ අන්තවාදයට අපේ ජනතාව යොමුකරවමින් සිටිනවා. ඒ අය උමතු රෝගියෝ. ජනතා විමුක්ති පෙරමුණෙ  සහ කොටි සංවිධානේ කැරලිවලට සහ ත‍්‍රස්තවාදයට සහභාගී උනේ අනුරාධපුරේ, වන්නියේ දුප්පත් පවුල්වල දරුවෝ. අද මේ මිනීමරු ත‍්‍රස්තවාදයට ගිහින් තියෙන්නේ මර්සිඞීස් බෙන්ස්වලින් යන ධනවත් පිරිසගේ දරුවෝ. ඒ වාහනවලින් ගිහින් ස්වර්ගයට යන්න පුපුරවා ගන්නවා. මෙහේ ඉන්නෙත් ඒ අය ස්වර්ගයේ තමයි. ඒ විදිහේ උමතු මානසිකත්වයට තමයි මේ අය පත්කර තිබෙන්නේ. ඔවුන් සොයා බලා නිෂ්කි‍්‍රය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්නය ඉවර නැහැ, සෑම තැනකම ඔලූ හෝදපු, ඔලූව විකෘති වෙච්ච අති විශාල පිරිසක් මුස්ලිම් සමාජය ඇතුළේ සැඟවී සිටිනවා. ඒ වගේම මේ රටේ මුස්ලිම් ජනතාව මතක තබා ගත යුතුයි අපි ජීවත් වෙන්නේ ආරබියේ නෙමෙයි, අරාබි බසෙන් නෙමෙයි අපේ ජනතාව කතා කරන්න  ඕනේ, ආරාබි ඇඳුමෙන් නෙමෙයි මේ රටේ කටයුතු කළ යුත්තේ, අරාබියේ නීති වලින් නෙමෙයි මේ රට පාලනය වෙන්න  ඕනේ ශ‍්‍රී ලංකාවේ නීතිවලින්. මේ රටේ කිසිම කෙනෙක් මුස්ලිම් අනන්‍යතාවයට විරුද්ධ නැහැ. හැබැයි අපි සියළු දෙනාම මතක තබා ගත යුතුයි අපි ශ‍්‍රී ලාංකික සංස්කෘතිය, නීතිය පිලිගැනීමට කටයුතු කළ යුතු යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor