වෙන්නප්පුව සභාපති ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලු කළා – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ සභාපති ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා වෙනුවට ජාතිවාදීව කටයුතු කිරීම තුලින්, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටන  ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

දංකොටුව සතිපොළේ උද්ගතව ඇති තත්ත්ව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා.

විශේෂයෙන් මම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මතක් කරන්න කැමතියි, දංකොටුව සතිපොළ මුළුමනින්ම නවීකරණය කළේ  එවකට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි රවුෆ් හකීම් මැතිතුමා අනුමත කල රුපියල් මිලියන පනහක (රු.මි.50) ප්‍රතිපාදන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ලබා දුන් ප්‍රතිපාදන වලින් බව.

එදා ෆෙස්ටස් පෙරේරා ඇමතිතුමා නිර්මාණය කල දංකොටුව සතිපොළ අද වනවිට නවීන පහසුකම් රැසක් සහිතව අප ප්‍රතිනිර්මාණය කර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට භාර දී තිබෙනවා. සතිපොළ නිර්මාණය කළේ ඒ ප්‍රදේශයේ ඉන්න සියලුම ජනතාවට සහජීවනයෙන් මේ තුල කටයුතු කරන්න.

අප ජාතිවාදය සහ ත්‍රස්තවාදය වෙන්කොට හදුනා ගත යුතුයි. පසුගිය දවස්වල කුරුණෑගල, හෙට්ටිපොල, ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්වයන් වලදීත් මෙවැනිම  ජාතිවාදීන් පහර දුන්නේ අන්තවාදින්ට නෙමෙයි. පාරේ වඩේ විකුණන, ඇදුම් විකුණන,  ස්වයං රකියාවන් කරගෙන ජිවත් වුන අහිංසක මුස්ලිම් ජනතාවට.

බිම්මට්ටමේ පොහොට්ටු සභාපතිතුමාගේ මේ ක්‍රියාව එම පක්ෂයේ ජාතික මට්ටමේ දේශපාලන ජාතිවාදයේ කොටසක් ලෙස හැදින්විය හැකියි. ඒ තුලින් එදා පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව ගෙන යන සටන හෑල්ලුවට සහ අන්තවාදී තත්වයකට පත්ව තිබෙනවා. මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය වී තිබෙන්නේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ගැටළු පෙන්වා විමර්ශන වලින් පැන යාමටයි.

රටට, ජනතාවට ආදරේ කරන මහජන නියෝජිතයන් කවදාවත් ත්‍රස්තවාදයට ජාතිවාදය පටලවා ගෙන කටයුතු කරන්නේ නැහැ. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි ඒ වගේම ජාතිවාදය අවුස්සලා කරන මේ දේශපාලන කුමන්ත්‍රණ වලටත් අපි විරුද්ධයි.  පක්‍ෂ පාට කුමක් වුවත් ජාතිවාදය ඇතිකරන ක්‍රියාවන්ට තරයේ විරුද්ධ වන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේ. 

Recommended For You

About the Author: Editor