වෛද්‍ය සාෆි ශිහබ්දීන් පිළිබඳ චෝදනා සනාථ වී නැහැ – CIDය අධිකරණයට දැනුම් දෙයි

‘දිනපතා දිවයින’ පුවත්පතේ පළ වූ ප‍්‍රධාන ශීර්ෂපාඨය

සාෆි අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී තිබෙනවා / ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් විමර්ශන මට්ටමේ තිබෙන්නේ පැමිණිලි 147යි / මෙම සිද්ධියට අදාළ මව්වරුන් පරීක්ෂණයට යොමුකිරීමට CID ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

සිසේරියන් සැත්කම් කිරීමේදී සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳකළ බවට ‘‘දිවයින’’ පුවත්පත මගින් චෝදනා කරනු ලැබ සිටින සහ සැක සහිත අයථා වත්කම් උපයා ගැනමක් සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද (27) පස්වරු 2.00 ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේය.

මේ අවස්ථාව අතුරලියේ රතන භික්ෂුවන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයථා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරුන්ගේ පැලෝපීය නාළ මිරිකූ බවක් හෝ මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය නොවූ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බවයි.

මෙම වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සිද්ධියට අදාළ මව්වරුන් ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී

වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සිංහල මව්වරුන් 3479 දෙනකු, මුස්ලිම් මව්වරුන් 860 දෙනකු සහ ද්‍රවිඩ මව්වරුන් 33 දෙනකු සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

Recommended For You

About the Author: Editor