සරු අස්වැන්නේ පදනම නිවැරදි බීජ භාවිතයයි

අවිධිමත් බීජ වලින් දේශීය ගොවිතැනට ඇති තර්ජනය බරපතලයි / වෙළඳපොලෙන් ඉවතලන කුණු තක්කාලිවලිනුත් සමහරු බීජ හදනවා / විධිමත් බීජ මිලදී ගැනීම ගොවියාගේ වගකීමක් /ලියාපදිංචි අංකය මෙන්ම තොග අංකයත් බීජ ඇසුරුමේ තිබේදැයි බලන්න

මහපොළොව මත කෙරෙන දැවැන්තම ව්‍යායාමය වන ගොවිතැන පලදායී ලෙස අවසන්කිරීමට පරිසරික සාධක උපකාරීවෙනවා මෙන්ම, ආරම්භයේදී ඒ සඳහා යොදාගන්නා රෝපණ ද්‍රව්‍යයන්ගේ ඉහල ගුණාත්මක බවද අත්‍යවශ්‍යම සාධකයක් වේ.

රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නට ගසකින් කඩාගන්නා අතු කැබැල්ලක නිරෝගී බව දෑසින් බලා තක්සේරු කළහැකි වුවත්, පැලකිරීමට ගන්නා බීජ සම්බන්ධයෙන් නම්, ඒ ආකාරයේ තීරණයක් ගැනීම පහසු නොවේ. එය ප්‍රරෝහණය වේද, තමා බලාපොරොත්තු වෙන ශාකයම උපදීද, බීජය තුල සැඟව සිටිය හැකි රෝග කාරකයන් නව ශාකය තුල ඉස්මතුවී වගාව වැනසී යාවිද, යනුවෙන් ගැටළු ගණනාවක් ගොවියාගේ යටි සිතෙහි තිබීම මීට හේතුවයි.

මේ නිසා බීජවල විශ්වාසනීයත්වය තහවුරුකිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල බීජ සහතිකකිරීමේ අංශයක් ස්ථාපිතව තිබේ. ඒ මගින් හැකි සෑම විටෙකම උත්සාහ දරන්නේ සහතික කිරීමේ ක්‍රමවේදයන් හරහා ගොවියා වෙතට නිවැරදි බීජ ලබාදීමටයි. කරුණු එසේ වුවත් වර්තමාන වෙළඳපොළෙහි විධිමත් බීජ හා අවිධිමත් බීජ යනුවෙන් බීජ කාණ්ඩ දෙකක් ඇත.

විධිමත් බීජ වනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ ක්‍රමවේදය හරහා ගොස් අදාළ සහතිකද සමග නිසි අනන්‍යතාවයකින් යුතුව වෙළඳපොළට නිකුත්වෙන ඒවාය. රජයේ බීජ ගොවිපොලවලින් එන නිෂ්පාදන මෙන්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පෞද්ගලික බීජ නිෂ්පාදකයින් සාදනු ලබන බීජ තොගද මීට ඇතුලත්වේ. මීට අමතරව විවිධ සමාගම් හරහා ආනයනය කරනු ලබන බීජද අදාළ නිර්නායකයන් සපුරා මෙරටට එන නිසා ඒවාද ගැනෙන්නේ විධිමත් බීජ කොටසටමය.

බීජ පනත නමැති නීති ලියවිල්ලක් මෙරට බලාත්මකව පැවතුනද අවිධිමත් බීජ නමින් කොටසක්ද ගොවීන් අතර සංසරණය වෙයි. ඒවා ගැන කිසිවෙකුට වගකීමක් නැත. පැමිණෙන්නේ කොතැනක සිටද කියා හැඳින්වීමක්වත් එහි නැත. රටෙහි අසන්නට දකින්නට ලැබෙන නීතියට පටහැනි අනෙකුත් ක්‍රියාදාමයන් සේම, කෙතරම් නීති රීති හා බාධක තිබුනත් මෙම බීජ නිරන්තරයෙන්ම ගොවිබිම් හරහා සංසරණය වෙයි.

කලෙක පටන් විධිමත් බීජ සම්බන්ධයෙන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතින වාතාවරණය යටතේ මෙහි ඇතුලාන්තය සොයාබැලීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා අරමුදල් යටතේ විශේෂ ව්‍යාපෘතියක් 2012 වසරේදී පටන්ගෙන 2017 දක්වා ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇත. මේ පිලිබඳ විස්තර කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කේ. කේ. එස්. ඩී. ප්‍රදීපිකා මහත්මියයි.

“අපි ලංකාවේ තෝරාගත් පළාත් කීපයකින්, තෝරාගත් එළවලු වර්ග කීපයක බීජ සාම්පල වෙළඳපොලෙන් එකතුකලා. ඒවා විධිමත් බීජ. වට්ටක්කා, පතෝල, කරවිල, වැටකොළු ආදී බෝග මේ අතර තිබුන. මුලින්ම මේ බීජ පරීක්ෂා කෙරුවේ විද්‍යාගාරයේදී. එතනදී බීජවල තෙතමනය, ජීව්‍යතාවය, ප්‍රරෝහණ ප්‍රතිශතය වගේ දේවල් නියම ප්‍රමිතියට තිබේදැයි සොයා බැලුවා. ඒවායේ ප්‍රතිපල වලනම් ලොකු අඩුපාඩු තිබුනේ නෑ. ඊළඟට මේ බීජ ගන්නෝරුවේ හා මහඉලුප්පල්ලම යන ප්‍රදේශ වලදී ක්ෂේත්‍රයේ සිටුවලා ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකලා. එතනදී තමයි ගොවීන්ගේ පැමිණිලිවල පසුබිම අනාවරණය උනේ.”

ඇය පවසන ආකාරයට තිලිණ නමැති තක්කාලි ප්‍රභේදයේ එක සාම්පලයකින් බිහිවූ ශාක අතර එකදු තිලිණ ශාකයක් වත් තිබී නැත. මුළු ගහනයම වෙනත් තක්කාලි වර්ගයන්ය. මෙය බරපතල තත්වයකි. වෙළඳසැල් වලින් ඉවතලන ‘කුණු තක්කාලි’ එකතුකර ඒවායින් බීජ ලබාගනිමින් වංචාකාරී ලෙස වෙළඳපොළට නිකුත්කර ඇතැයි සිතීම මෙහිදී අසාධාරණ නොවේ. මීට වඩා මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදුවෙන රටක තක්කාලි ඇටයකට වංචාකිරීමට ලොකුවට සංවිධානය වියයුතු නැත.

“තවත් සාම්පලයක් අපි දැක්ක, ගස් හොඳට හැදෙනවා. හැබැයි ඒවායේ හටගත්තේ වෙන වෙන හැඩරුව ඇති තක්කාලි ගෙඩි. ඒවා එකම වර්ගයක් නොවෙයි. අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදකයා දෙමුහුම් තක්කාලි ප්‍රභේදයක බීජ අරගෙන තමයි විකුණලා තියෙන්නේ. දෙමුහුම් වර්ග වල බීජ වලින් උපදින්නේ ඒ ආකාරයේ ව්‍යාකූල දරුවෝ.

බීජ නිෂ්පාදකයාගේ නොදන්නාකම හේතුවෙන් හොඳ තක්කාලි වර්ගයක් තෝරාගෙන එහි බීජ විකුණා ගොවියා සනහන්නට ගොස් පොට වරද්දාගත් අවස්ථාවක් සේ මෙය සලකන්නටද පුළුවන. බීජ පනතේ වගන්ති අතර ‘බීජ හසුරුවන්නා’ යනුවෙන් යෙදුමක් තිබේ.

ගොවියා හැර, බීජ නිපදවීම සඳහා වගා පවත්වන්නන්, බීජ නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන් යනාදී වශයෙන් වූ බීජ කර්මාන්තයට යම් ක්‍රමයකින් සම්බන්ධ සියලු දෙන මේ තුලට ඇතුලත්වේ. ඒ නිසා ගොවියෙකු වෙත නුසුදුසු බීජ පැකට්ටුවක් නිකුත් කලේනම් මේ කිසිවෙකුට වගකීමෙන් නිදහස් විය නොහැකිය. ඒ සමගම පාරිභෝගිකයා සතුවද වගකීමක් තිබේ. තමා බීජ ලබාගන්නේ කාගෙන්ද, එහි අනන්‍යතාවය, ආදී විස්තර පසු විපරුම් සඳහා නිවැරදිව ඔහු සතුව තිබිය යුතුවා මෙන්ම, තමා අතින් බීජවල ගුණාංගවලට හානියක් නොවන පරිදි ඒවා පරිහරණයකිරීමද කල යුතුවේ.

වෙළඳපොළෙහි ඇති බීජ අසුරණයේ අනිවාර්යයෙන්ම තිබියයුතු බීජ පනත යටතේ ලියාපදිංචි අංකය ඔහු පරීක්ෂා කල යුතුය. එහි තොග අංකය තිබේදැයි බැලිය යුතුය. එවැනි අංකයක් සහිත විධිමත් බීජ මිලදී ගන්නා ලෙස අප නිතරම උපදෙස් දෙන්නේ, යම් අක්‍රමිකතාවයක් වාර්තාවූයේ නම්, බීජ නිෂ්පාදකයාගෙන් වන්දි ලබාගැනීම වැනි කටයුත්තක් සඳහා වගකිවයුත්තන් හඳුනාගැනීමට මෙම අංක ප්‍රයෝජනවත් වන බැවිනි. මෙවැනි ක්‍රියාදාමයකදී හානියක් තක්සේරුකිරීම වැනි දෙයක් සිදුකෙරෙන්නේ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන්ය.

බොහෝවිට ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශක හෝ වෙනත් අදාළ නිලධාරියෙක් එතැනදී සහභාගිවේ. කටයුතු සාධාරණව, පහසුවෙන් හා සුමටව ඉටුකර ගැනීම සඳහා, තමා භාවිතාකරන බීජ සාම්පලය පිළිබඳව වගා ආරම්භයේදීම පළාතේ කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමක් ගොවියා විසින් සිදුකරන්නේ නම් මැනවයි අප යෝජනා කරන්නේ එබැවිනි. තමාට සිදුවූ අසාධාරණය ගැන අනතුරෙන් පසු තෙවෙනි පාර්ශවය දැනුවත් කරනවාට වඩා එය වඩාත් ප්‍රායෝගික පිළිවෙතක් වේ.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor