
රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය, ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම සහ දෙනියාය මූලික රෝහල සංවර්ධන ව්‍යාපෘතිය ද ඇතුළු රුපියල් මිලියන 8889.22ක අගයකින් යුත් ව්‍යාපෘති සඳහා පසුගිය දා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවන්ට මෙම අනුමැතිය ලැබී තිබේ.
රුපියල් මිලියන 4,324.22 ක ආයෝජනයක් සහිතව යෝජිත මහාචාර්ය ඒකකය මහල් හයකින් යුත් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කෙරේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා පහසුකම් සැපයීමේ අරමුණෙන් රත්නපුර පළාත් මහ රෝහල 2018 වර්ෂයේදි ශික්ෂණ රෝහලක් ලෙස උසස් කළ අතර එම වෛද්‍ය පීඨයට බඳවා ගන්නා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙමඟින් සිදු කෙරේ.
රුපියල් මිලියන 4565 ක ආයෝජනයක් සහිතව මහල් 14 කින් යුක්ත ගොඩනැඟිල්ලක් ඉදි කර ගුණාත්මක අක්ෂි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට අවශ්‍ය ප්‍රමාණවත් ඉඩකඩ සහිත බාහිර රෝගී අංශය, වාට්ටු, සායන, ශල්‍යාගාර, රෝග පරීක්ෂණ පහසුකම් සහ අනෙකුත් සහායක සේවාවන් සැපයීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
දෙනියාය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට අපේක්ෂිත නව මූලික රෝහල තලවාකැලේ වැවිලි සමාගම විසින් රජය වෙත මුදා හැරීමට එකඟ වී ඇති අක්කර 33 ක භූමිය ස්ථාපනය කිරීම පිණිස අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය වෙනත් පහසුකම් සැලසීමට මෙම යෝජනාවෙන් අපේක්ෂිත ය. ඒ අනුව එම රෝහල ඇඳන් 600 කින් සහ වෙනත් නවීන පහසුකම් සහිත නව මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.