ඩිජිටල් තාක්ෂණ යුගයේ නවතම තර්ජනය ‘සයිබර් අපරාධ’

21 වැනි සියවසේ ඩිජිටල් තාක්ෂණ යුගයේ නවතම තර්ජනය සයිබර් අපරාධ වේ. ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගනිමින් විවිධ ස්වරූපයන්ගෙන් අපරාධ සිදු කෙරේ. ඩිජිටල් දත්ත ගබඩාකර ඇති ඕනෑම (සංවාහක) උපකරණයක් ඩිජිටල් මාධ්‍ය ලෙස අර්ථකථනය කළ හැකිය. ෆේස්බුක්, වෙබ් අඩවි, විද්‍යුත් තැපෑල, සී.ඩී. හෝ ඩී.වී.ඩී. යනාදිය මීට අයත් වේ.

සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයක් වන නිසා එයට සීමා නොමැත. සමාජ සම්බන්ධතා ජාලගත අඩවි, වෙබ් අඩවි, විවාද මණ්ඩප, ඉලෙක්ට්‍රොනික තැපෑල, චැට් අඩවි, හමුවීම් අඩවි යනාදී මාර්ග යොදා ගනිමින් සයිබර් අපරාධ සිදු කෙරේ. මෙහිදී හැකින්, මැල්වෙයාර්, අනන්‍යතාව සොරා ගැනීම, cyber Stalking, child pornography, ප්‍රධාන වේ.

යම් පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් අපරාධයක් සිදු කිරීමට හෝ එම පරිගණකය යම් අපරාධ ඉලක්කයක් ලෙස යොදා ගැනීම සයිබර් අපරාධයකි. පරිගණකයක හෝ පරිගණක පද්ධතියක තොරතුරුවල රහස්‍යභාවයට හානිවීම, තොරතුරු වෙනස්වීමට හෝ තොරතුරු නැවත ලබා ගැනීමට මේ නිසා නොහැකි වේ. ඒ අනුව පුද්ගල රහසිගත තොරතුරු වෙත ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා පිවිසී හානිකර ඕනෑම කටයුත්තක් සිදු කිරීම සයිබර් අපරාධයක් ලෙස පුළුල්ව විග්‍රහ කළ හැකිය.

අපරාධ පනත

සයිබර් අපරාධ වැළැක්වීමට 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත සම්මත කර ඇත. ඊට අමතරව 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ පනත සහ 2018 අංක30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පනත ක්‍රියාත්මක වේ. යම්කිසි ආකාරයකින් පරිගණක අපරාධයක් නිසා හානියට පත් අයකුට සියලුම තාක්ෂණික උපදෙස් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මඟින් ලබාගත හැකිය. අංක 4 – 112 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයේ පිහිටි CERT ආයතනය වෙත පැමිණ හෝ 0112691692 / 0112695749 යන දුරකතන අංක ඔස්සේද, Cert@cert.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ ද සහය ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් නීතිමය සහාය අවශ්‍ය නම් CERT ආයතනය මඟින් ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන අංශයේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකය වෙත යොමු කරයි.

යම් අවස්ථාවක මුර පද ඇතුළත් කළ යුතු වෙබ් අඩවි වෙත පිහිටීමේදී HTTPS ලෙස ආරක්ෂාව තහවුරු කරන ලද වෙබ් අඩවියක්ද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය. තමන්ගේ විවිධ ගිණුම්වලට යොදන ලද මුරපද කිසිවෙකුට ලබා නොදීමටත් තම, උපන්දිනය වැනි වෙනත් අය දන්නා හෝ අනුමාන කරන මුල්පද යොදා ගැනීම අනතුරුදායකය. කිසිවකු අනුමාන නොකරන අතුරු සංකේත සහ ඉලක්කම් මිශ්‍ර කරන ලද මුරපද භාවිත කිරීම වඩාත් සුදුසු වේ.

පරිගණක අපරාධ පනත යටතේ වරදකරුවකු වන පුද්ගලයකුට නීතිය මඟින් දඬුවම් හිමි වේ. යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශ වීමේ වරදකරුවකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදුවනු ඇත. යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණක් සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත්වීමට සිදුවීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදුවනු ඇත. අධිකාරී බලය නොමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරතවීමේ වරදක් සඳහා වරදකරු වුවහොත් රුපියල් තුන් ලක්ෂ්‍යකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇත. ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරතවීමකට වැරදිකරු වුවහොත් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇත.

මෙහිදී සමාජජාල හිරිහැර (Cyber bullying) යනු ජංගම දුරකතනයක් පරිගණකයක් හෝ ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් භාවිත කරමින් සිදුකරන හිරිහැර හෝ අපහාස වේ. එය කෙටි පණිවුඩයක්, වගන්තියක්, පරිගණක වැඩසටහනක් හෝ සමාජ ජාලාවක්, එකමුතුවක් හෝ ක්‍රීඩාවක් යොදාගෙන ජනතාවට නැරඹිය හැකි, හුවමාරු කළ හැකි ක්‍රමවේදයක් වේ. එමඟින් කෙනකුට හිංසාකාරී හෝ අනර්ථකාරී, ව්‍යාජ තොරතුරු රැගත් දෑ මෙන්ම ‍ පුද්ගල මනස පීඩාවට පත් කරන දේ අන්තර්ජාල හිංසනයට අයත් වේ. ෆේස්බුක්, ඉන්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය, ජංගම දුරකතන හරහා යවන කෙටි පණිවුඩ, ඊමේල් භාවිතයෙන් අන්තර්ජාල හිරිහැර සහ අපහාස සිදුවිය හැකිය. දැනුවත්වම කෙනකුට හිරිහැරයක් හෝ අපහාසයක් සිදුවන ආකාරයේ අදහස් පළ කිරීම කෙනෙකු බියට පත්වන අන්දමේ තර්ජන එල්ල කිරීම අපහාසයක් සිදුවන අන්දමේ ඡායාරූප හෝ වීඩියෝ පට මුදා හැරීම, යම්කිසි ජාතියකට, ආගමකට, කුලයකට අපහාස වන ලෙස තොරතුරු පළ කිරීම මෙන්ම කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානිවන අන්දමින් රහස්‍ය තොරතුරු හෙළි කිරීම අන්තර්ජාල හිරිහැරයන්ට අයත් වේ. මෙහි ප්‍රතිඵලය විවිධ මානසික රෝග ඇති වීම, සියදිවි නසා ගැනීම හෝ ඊට පෙළඹීම මෙන්ම සමාජ සබඳතා බිඳ වැටීම් ආදියයි.

මාධ්‍ය අවභාවිතය

2012 වර්ෂයේ පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි 1100ක් ද 2013 දී පැමිණිලි 12000ක්ද, 2014දී 2850ක්ද, 2016 දී පැමිණිලි 2200ක්ද, 2016 වන විට සුළු අඩුවීමක් ද දක්නට ලැබේ. 2018 වර්ෂයේ මිලියන 20.91ක ජනගහනයක් සහිත ලංකාවේ අන්තර්ජාල භාවිතය 32% වන අතර සමාජ මාධ්‍ය භාවිතය 29%කි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව පැහැදිලිය.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලියෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල විටින් විට තහනම් කෙරිණි. ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමඟ ඇතැම් පිරිස් සමාජ මාධ්‍යජාල අවභාවිතයට ගනු ලැබුවේය. ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍යජාල අවහිර කිරීමට මාර්තු 07 දින ආණ්ඩුව තීරණය කළේ පවතින අහිතකර තත්ත්වය තරමක් දුරට හෝ සමථයකට පත් කිරීමටය. බොහෝ දෙනකු සමාජජාල මාධ්‍ය තහනම් කරන අවස්ථාවලදී VPN භාවිතය කර සමාජ ජාල තුළ සැරිසැරුවේය. සමාජ මාධ්‍ය වාරණය තුළින් රජය බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ඒ අනුව පැහැදිලි වේ. මේ කාලය තුළදී 58%ක් සමඟ VPN තාක්ෂණ ඔස්සේ සමාජ ජාලවලට එක්වීම හොඳම උදාහරණයකි.

නව මාධ්‍ය

සෙසු මාධ්‍ය සාපේක්ෂව අන්තර්ජාලය ඉතා වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණ කරයි. එය විටෙක මිනිසාට වාසි සහගත තත්ත්වයකි. ඇතැම් ජනමාධ්‍යන්හි තොරතුරු වාර්තාකරනයට පෙර තොරතුරු දැනගත හැකි වන්නේ නව මාධ්‍ය තුළින්ය. 2011 මැයි මාසයේ දිනෙක අමෙරිකානු සිවිල් හමුදා විසින් පකිස්ථානයේදී ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ වග සහීබ් අක්තාර් නැමැති පුද්ගලයකු විසින් ටිවිටර් මඟින් ලොවට දැනුම් දෙනු ලැබුවේය. 2011 වසරේ ජපානයේ නුකුෂිමා බලාගාර ආශ්‍රිත භූමි කම්පා සහ සුනාමි ව්‍යසනයේදී මිනිසුන් අදහස් හුවමාරු කර ගැනීමට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිත කළේය. 2016 වසරේදී තුර්කියේ හමුදා කුමන්ත්‍රණයද ඊට මනා නිදසුනකි. Peace at Home Council නමින් නිවේදනය වූ හමුදා කණ්ඩායමක් තුර්කි ජනාධිපති අර්ඩොගොන් පළවා හැරීමට තුර්කි රජයේ රේඩියෝ සහ ටෙලිවිෂන් (TRT) ආයතනයට ඇතුළු වී අසත්‍ය ප්‍රකාශ ජනගත කළ අවස්ථාවේදී එරට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනතාවට ඇමතීම සඳහා යොදා ගත්තේ නව මාධ්‍යයයි. එරට 58%ක් දෙනා අන්තර්ජාලය භාවිත කරන්නන් වූ අතර ෆේස්බුක්, ට්විටර්, සමාජ ජාල හරහා ජනාධිපතිවරයා රජය රැක ගැනීමට ජනතාවට පෙරට පැමිණෙන ලෙස කළ ඉල්ලීම වේගයෙන් සංසරණය වූයේය. එදා නව මාධ්‍යයේ පවත්නා ප්‍රබලත්වය භාවිත කරමින් තුර්කි ජනාධිපතිවරයා හමුදා කුමන්ත්‍රණයෙන් යළි රට මුදා ගත්තේය.

නුතන වෙළෙඳපොළ ප්‍රචාරය මාධ්‍ය තුළ (E – marketing සහ Advertisingවලදී) ෆේස්බුක් ප්‍රබල බලපෑම් සහිත සන්නිවේදන මාධ්‍යක් ලෙස භාවිත කළ හැකිය. ආපදා කළමනාකරණය වැනි අවදානම් සහිත අවස්ථාවලදී ජනමාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය යොදාගත හැකි වීම වාසි සහගත තත්ත්වයකි.

ආචාර්ය නාලක ලංකාසේන – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Recommended For You

About the Author: Editor