පීඩිත මිනිස්සු ගැන හිතන අයයි සැබෑ වීරයො – ළහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන්ගෙ ධෛර්යයෙන් දියුණු වුණා කියද්දි රතුපස්වලදි මොකද වෙඩි තිබ්බෙ කියලා එක රූපවාහිනි වැඩසටහනකදිවත් ඔහුගෙන් විමසීමක් නොකෙරුණ බව ‘වෙනසක තාරුණ්‍ය‘ සංවිධානයේ ළහිරු වීරසේකර පවසයි.

ලෝකය ජයගන්නට අප ජීවත්වන සමාජය තුළ කුඩා කාලයේ සිටම විවිධ ආදර්ශ හා මාර්ග පෙන්වා දෙන නමුත් ඒවා ඇත්ත මිනිස් ලෝකයක අරමුණුවලින් දුරස්ත ආදර්ශයන් බව ඔහු එහිදී අවධාරනය කළේය. තාරුණ්‍යයේ ජවය විනාශයටද විප්ලවයටද?‘ යන තේමාවෙන් ඊයේ (27) කොළඹ මහජන පුස්තකලායේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

‘වෙනසක තාරුණ්‍ය‘ ජාතික කමිටු සාමාජිකයකු ලෙස කළ දේශනයේදී ළහිරු වීරසේකර විසින් තවදුරටත් මෙසේ අදහස් පළ කරන ලදී.

”අපේ දරුවන්ට අද කුඩා කාලයේ ලබාදෙන ප‍්‍රතිරූපය බෙන්ටෙන්. ඇත්ත ලෝකයේ නැති අද්භූත හැකියාවන් ඇති කෙනෙක් වෙන එක පරමාදර්ශය ලෙස දෙන රූපවාහිනි වැඩසටහන් ඔවුන් ආදර්ශයට ගන්නෙ. එක්තරා මවු කෙනෙක් තමන්ගෙ කුඩා දරුවා මානසික ප්‍රතිකාර සායනයකට අරගෙන ආවෙ එයා දඩබ්බරයි, බඩු පොලොවෙ ගහනවා, අස්වාභාවික හැසිරීමක් පෙන්වන බව කියාගෙන. හොයලා බැලූවම ඒ දරුවගේ ලෝකෙ වීරයා මේ දිනවල රූපවාහිනියෙ පෙන්වන ‘ශිවා‘ කාටුන් චරිතය. ඉතින් මේ දරුවන්ට වැඩිපුරම දකින් අහන්න සිදුවන දේවල් එක්ක තමයි හැසිරීමත් තීරණය වෙන්නෙ. ඒක දරුවගේ ලෙඩක් නෙවෙයි, ඒ දරුවට එහෙම පරිසරයක් දීලා වෙන වෙන දේවල් අපේක්ෂා කරන අම්මලාගෙ මානසික ප‍්‍රශ්නයක් තියෙනවද කියලයි දැන් හොයන්න වෙන්නෙ. වීරත්වය කියන්නෙ කිසිම විටෙක සාමාන්‍ය මිනිහෙකුට ලඟාවෙන්න බැරි දෙයක් නෙවෙයි. අපෙ අම්මලා තාත්තලා, මොන තරම් කැපකිරීම් කරනවද දරුවන් වෙනුවෙන්. කැපවීම් කරන්නෙ හරියට කෑමක් බීමක් විවේකයක් නැතිව. අන්න ඒව තමයි අපේ ලෝකයෙ වීර ප‍්‍රතිරූප වියයුතු. කාටුන්වල හෝ චිත‍්‍රපටවල එන බොරු වීරයන් නෙවෙයි,

අපිට පොඩි කාලෙ ඉඳන් හදන චිත‍්‍රය තමයි, උත්සාහයෙන් ලෝකය ජයගන්න තනියම දියුණු වෙන්න පුලූවන් කියන එක. වීරත්වය, ධෛර්ය, දුක දිනා ජයගත් චරිත වීරත්වයෙන් වර්ණනා කරනවා. ලංකාවෙදිත් දියණු වෙච්ච ධනවතුන් ගැන කියන කතාව ඒකයි. මේ මෑත කාලයේ මාධ්‍ය මගින් පෙන්වපු චරිතයක් තමයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා. රූපවාහිනි සංවාදවලටත් ගෙනාවා, දේශන පැවැත්වුවා. ඒ එක අවස්ථාවකවත් කවුරුවත් ඇහුවද කෝ එයා පොඩි කාලෙ එකට සෙල්ලම් කරපු, එකට හිටිය යාලූවො, ඒ කොල්ලන්ට කෙල්ලන්ට මොකද වුණේ? ඒ අය දැන් කොහෙද? ඒ අයට දියුණු වෙන්න, බැරි වුණේ ඇයි  කියලා කවුරුවත් ඇහුවද? අපි දන්නවා රතුපස්වල ධම්මික පෙරේරගෙ කර්මාන්ත ශාලාවකින් සිදුවන පරිසර විනාශය නිසා විරෝධය පළ කරද්දි වෙඩි තියලා සිදු වූ මරණ ගැන. අඩු ගානෙ රතුපස්වලදි මිනිසුන්ට වෙඩි තිබ්බෙ ඇයි කියලා කවුරුවත් ඒ වැඩසටහනකදි ධම්මික පෙරේරගෙන් ඇහුවද? එක ප‍්‍රශ්නයක් ඇහුවද, රතුපස්වල ඔබේ කර්මාන්ත ශාලාව නිසා නේද වෙඩි තිබ්බෙ කියලා? අන්න වීරත්වය. අන්න පරමාදර්ශ.

අපි කියන පරමාදර්ශ ඒවා නෙවෙයි. අපි කියන්නෙ මේ සමාජයේ අගතීන් ගැන කම්පා වෙන, මේ සමාජයේ දුක් විඳින මිනිස්සු ගැන කම්පා වෙන, ඒ පීඩිතයන් වෙනුවෙන් යමක් කරන්න කැපවෙන මිනිස්සුන්ට. තමන් සමග ඉන්න උන් පාගාගෙන, උන් මළත් කමක් නෑ කියලා තනියම ධන කුවේරයන් වෙන්න, තනියම ජීවත් වෙන්න හදන එක වීරත්වයක් හෝ ආදර්ශයක් නෙවෙයි. තමන් අවට ජීවත්වන මිනිස්සුන්ට පුංචි හෝ ජයගඟණයක්, ධෛර්යයක් දෙන්න පුලූවන් අයට අපි වීරයන් කියන්නෙ. අන්න ඒ වගේ වීරත්වයකින් ඉදිරියට යන්න පෙරටුගාමී කාර්යයක් ඉටුකරන්න කැමති ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා. මේ කාරණා ගැන හිතලා බලන්න. තමන් ජීවත්වන සමාජය ගැන වගකීමෙන් හිතන්න, පෙරටුගාමී කාර්යභාරයක් ඉටු කරන්න පෙරමුණ ගන්න කියලා අපි ආරාධනා කරනවා.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Recommended For You

About the Author: Editor