සමෘද්ධියෙන් ‘සමෘද්ධිය උදා වුණේ’ කාටද ?

නිලමෝර්ගේ සති අග දේශපාලන විමසුම

1995-2015 අතර කාලයේදී සමෘද්ධි හිමිකම නොලැබූ පවුල් 600,000කට අධික පිරිසකට අලූතින් සමෘද්ධි හිමකම ලබාදීමට රජය මේ වන විට පියවර ගනිමින් සිටිනවා. රජය සඳහන් කරන ආකාරයට සමෘද්ධි හිමිකම සඳහා සියලූ සුදුසුකම් සපුරා තිබුණත් දේශපාලන බලපෑම් හේතුවෙන් මේ පිරිසට සමෘද්ධි හිමිකම අහිමි කර තිබුණා. එහි සරල අදහස වුණේ ‘‘පොදු පෙරමුණු ආණ්ඩුවට (ශ‍්‍රීලනිපයට) ඡන්දය දුන්නේ නැතිනම් සමෘද්ධිය නැහැ’’ යන්නයි.
සමෘද්ධිය සහ ඡන්ද මැෂීම

අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රීලනිපය වේදිකා දෙවනත් වෙන්න කෑ ගැසුවත්, මාධ්‍ය සංකච්ඡුා තියතියා දැඩි විවේචන එල්ල කළත් 1995-2015 පුරා දශක දෙකක් තුළ සමෘද්ධි ව්‍යාපාරය ක‍්‍රියාත්මක වූ සැබෑ ස්වභාවය ගම්බිම්වල ජීවත් වන අඩු ආදායම්ලාබීන් සේම ඒ ගැන සංවේදී ඕනෑම පුරවැසියෙක් හොඳාකාරවම දන්නා කරුණක්. ඒ එවකට පැවැති ආණ්ඩුවේ ‘‘ඡන්ද මැෂීම’’ බවට පත්ව තිබුණේ මේ සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි නියාමකවරුන් බවයි.

මේ සඳහා දැක්විය හැකි කුප‍්‍රකට උදාහරණය වන්නේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ සිට දීර්ඝ කාලයක් විෂයභාර ඇමැතිවරයා වශයෙන් සිටි එස්.බී. දිසානායක මහතායි. ඔහුට 1997 වන විට ‘‘ඡුන්ද මැෂිමක්’’ බවට පත් වන්නට මෙන්ම හඟුරන්කෙත ප‍්‍රදේශයේ කුප‍්‍රකට ‘‘සමෘද්ධි මාළිඟා’’ ගොඩනැගීමට ද ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙන්නේ 1995දී ඍජුව දේශපාලනමය වශයෙන් තෝරාගත් සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි නියාමකවරුන් විසිනුයි.

මේ තත්ත්වය මනාව විශ්ලේෂණය කළ ඇතැම් දේශපාලන විචාරකයින් අවධාරණාත්මකව කියා සිටියේ 1995 වසරේ සිට ග‍්‍රාමීය ප‍්‍රදේශවල එවකට පැවැති ආණ්ඩුව ස්ථාවර වීමට සමෘද්ධි ව්‍යාපාරය හරහා ගමට ගලා දිය මුදල් සහ දේශපාලන බලපෑම ඍජු හේතුවක් වූ බවයි. එක ගමකට එකා බැගින් රජයේ වැටුප් ලබන සේම රජයේ සුභසාධන සේවා ගෙන යන ඍජු දේශපාලන චරිතයක් නිර්මාණය වීම මේ හරහා සිදු වූ බවයි. අදත් ග‍්‍රාමීය දේශපාලනය තුළ සක‍්‍රීය බොහෝ දෙනෙක් සමෘද්ධි නියාමකයින් ඇතුළු මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූවන් බව පහසුවෙන් හඳුනා ගත හැකියි.

මේ තත්ත්වය තුළ සමෘද්ධි නියාමකවරුන්ට ඉතාම පහසුවෙන් ග‍්‍රාමීය වශයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ඡුන්ද බලයට ඍජුව බලපෑමක් කිරීමට හැකියාව ලැබුණා. ඒ ගමේ එජාප පාක්ෂිකයා කවුද ? ශ‍්‍රී ලංකාකාරයා කවුද ? පවිපෙ සාමාජිකයා කවුද කියලා ඉතාම පහසුවෙන් නාමකරණය කරගත හැකි නිසයි.

ඒ අනුව පාරම්පරික එජාප පාක්ෂිකයින් සේම ජවිපෙට සම්බන්ධ පවුල් 1995-2015 සමෘද්ධි හිමිකම් ලැයිස්තුවෙන් කැපී යාම හුදු අහම්භයක් නොවන සැලසුම් සහගතව සිදු වූ දේශපාලන පළිගැනීමක් වශයෙන් හඳුනා ගත හැකියි. ඒ අනුව ලක්ෂ 06ක් පමණ වන අලූත් පිරිසට සමෘද්ධි හිමිකම ලබාදීමට වත්මන් රජය ගත් තීන්දුව සර්වසාධාරණ කළ හැකියි.

දරිද්‍රතාවය සමාජ හා දේශපාලන මානයකින්

ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙමින් සිටින ප‍්‍රබලතම සමාජ හා ආර්ථික ගැටලූවක් වන්නේ දරිද්‍රතාවයයි. නිදහස දිනාගත් 1948 වසරේ සිට මේ දක්වා දිළිඳුකම හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල අනුග‍්‍රහය යටතේ විවිධ වැඩසටහන් දියත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ ජනගහන දරිද්‍රතා දර්ශකය 2002දී (ශී‍්‍ර ලංකාව) සියයට 22.2 දක්වාත්2009/10 වර්ෂවලදී සියයට 8.9 දක්වාත් 2016 වන විට සියයට 4.1 දක්වාත් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික හා සමාජ විද්‍යාඥයින්ට අනුව තිරසර සංවර්ධන අභිමතාර්ථ අනුව යමින් 2030 වන විට දිළිඳුකම සපුරා පිටුදැකීමට මේ අනුව ලංකාවට පහසු අවස්ථාවක් තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ තවත් වසර 16කට ආසන්න කාලයක් තුළ (2016-2030) ඉතාම පහසුවෙන් මේ ඉලක්කය ජයග‍්‍රහණය කරගත හැකි වනු ඇති බවයි.

ජනගහන දරිද්‍රතා දර්ශකය
වර්ෂය ශ‍්‍රී ලංකාව නාගරික ග‍්‍රාමීය වතු
1995/96 28.8 14.0 30.9 38.4
2002 22.7 7.9 24.7 30.0
2006/7 15.2 6.7 15.7 32.0
2009/10 8.9 5.3 9.4 11.4
2012/13 6.7 2.1 7.6 10.9
2016 4.1 1.9 4.3 8.8
(ශ‍්‍රී ලංකා මහ බැංකුව /වාර්ෂික වාර්තාව 2015/17)


ඉහත වගුව අනුව දරිද්‍රතාව සංඛ්‍යා ලේඛනවල සතුටු විය හැකි ප‍්‍රමාණයේ ප‍්‍රතිශතමය අඩුවක් පැහැදිලිව පෙන්නුම් කරනවා. කලාපීය වශයෙන් ගත් විට මෙය ඉතාම ධනාත්මක තත්ත්වයක්. ‘‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, දිළිඳු නොවන ජනතාවගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් නිල දරිද්‍රතා රේඛාවට මඳක් ඉහළින් සිටියි. ඒ අනුව, නිල දරිද්‍රතා රේඛාවේ අගය සියයට 10කින් ඉහළ ගියහොත්, ජනහගන දරිද්‍රතා දර්ශකය සියයට 6.1ක් දක්වා ද, නිල දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහනය 12, 55,702ක් දක්වා ද ඉහළ යනු ඇත’’ (ශ‍්‍රී ලංකා මහ බැංකුව/වාර්ෂික වාර්තා 2017, පිටුව 111) මෙහිදී අපට පෙනී යන්නේ ආර්ථිකමය කටයුතුවල සිදුවන (විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාවගේ) කුඩා කම්පනයක් මගින් පවා දරිද්‍රතාව සම්බන්ධ සමස්ත චිත‍්‍රයේ දැවැන්ත වෙනසක් කළ හැකි බවයි.

දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරය

ශ‍්‍රී ලංකාවේ නිල දරිද්‍රතාව /දිළිඳුකම පිටුදැකීම සඳහා දීර්ඝ කාලයක් පුරා රජයේ ඍජු ආයෝජන මත හා විවිධ ස්වේච්ඡා සංවිධානවල ප‍්‍රතිපාදන මත විවිධ වැඩසටහන් දියත් වුණා. ඒ අතර ‘‘ජනසවිය (1988-1995) ‘‘සමෘද්ධි ව්‍යාපාරය’’ (1995 සිට) දැවැන්ත රාජ්‍ය ආයෝජනයක් සහ රාජ්‍ය සේවා යාන්ත‍්‍රණයක් මත දියත් වුණා. විශේෂයෙන් 1995දී ආරම්භ වූ සමෘද්ධි ව්‍යාපාරය දිළිඳුකම පිටුදැකීම සඳහා දියත් වූ වැඩසටහන් අතර සුවිශේෂයි. 2017 වසර වන විට පැවැති තත්ත්වය පහත සටහන අනුව හඳුනා ගත හැකියි.

1 2017 වර්ෂයේදී සමෘද්ධි සහනාධාර හිමිකම ලබාගත් පවුල් සංඛ්‍යාව 13,88,242කි. (2011 දී පවුල් 15,41,575ක් ද, 2012දී පවුල් 15,49,107ක් වූ අතර 2015 දී, 14,53,078ක් ද 2016 දී එය 14,07,235ක් බවට ද පත්වුණා)
2 ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාවෙන් (ආසන්න වශයෙන් 56 ලක්ෂයක් පමණ වන* 4/1කට ආසන්න පිරිසක් සමෘද්ධි හිමිකම් ලබනවා.
3 2017දී සමෘද්ධි හිමිකම් දීමනා සඳහා පමණක් දැරූ රාජ්‍ය වැය රුපියල් මිලියන 39,707ක්. (එය 2014දී රුපියල් මිලියන 15,042 ක්ව තිබුණා)
4 සමෘද්ධි ව්‍යාපාරය කළමනාකරණය සඳහා ආසන්න වශයෙන් නිලධාරීන් 26,000ක පමණ පිරිසක් පූර්ණ කාලීනව සේවයේ යෙදී සිටිනවා.
5 එය වසර 23කට ආසන්න කාලයක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙනවා.


මීට අමතර සමෘද්ධි ව්‍යාපාරය හා බැඳුණු බැංකු ජාලය ද අපගේ විමසුමට ලක්විය යුතුයි.
x සමෘද්ධි/දිවිනැඟුම බැංකු සංගම් සංඛ්‍යාව 35,896ක්.
x සමෘද්ධි/දිවි නැඟුම මහා සංගම් 332ක්
x ප‍්‍රජා මූල බැංකු ශාකා ගණන 1074ක්.
x ණය යෝජනා ක‍්‍රම 14ක්
x රුපියල් මිලියන 42,300ක ණය (ප‍්‍රතිලාභීන් 653,370ක් සඳහා) 2017 වසරේදී පමණක් නිකුත් කර තිබෙනවා.
x සෑම සෘද්ධි ප‍්‍රතිලාභීන් 2/1කට ආසන්න පිරිසක් 2017 වසරේදී ණය ලබා ගෙන තිබෙනවා.

ඉහත සඳහන් දත්ත විමසා බලන විට සමෘද්ධි ව්‍යාපාරයේ දැවැන්තභාවය පහසුවෙන් වටහා ගත හැකියි.

මේ සංඛ්‍යා ලේඛන කොතරම් දැවැන්ත හා ආකර්ෂණීය වුවත් 1995 සිට වසර 23කට ආසන්න කාලයක් තිස්සේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ සමෘද්ධි වැඩසටහන් කොතරම් දුරට තම අරමුණු ඉටුකර ගෙන තිබෙන්නේ දැයි ප‍්‍රශ්නයක් ආර්ථික හා සමාජ විශේෂඥයින් අතර පමණක් නොව පොදුවේ ජනතාව අතර පවා තිබෙනවා. ඔවුන් ඒ සඳහා ප‍්‍රබල හේතු කිහිපයක් ඉදිරිපත් කරනවා.

1 සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ සිටම දේශපාලන මුහුණුවරක් ගැනීම. (ප‍්‍රතිලාභීන් තෝරාගත්තේ දේශපාලන පදනමකින්
2 සමෘද්ධි ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය සඳහා පත් කර සිටින රාජ්‍ය නිලධාරීන් දේශපාලන ලැදියාවන්ගෙන් යුත් පිරිසක් වීම. (පත්වීම් දුන්නේ දේශපාලන පක්ෂපාතීත්වය මත)
3 ප‍්‍රමාණවත් මුදලක් සහනාධාර වශයෙන් ලබා නොදීම. (2015 වන විට උපරිම මුදල රුපියල් 1500ක් පමණයි)

ඉහත සඳහන් මුල් විවේචන ද්විත්වය ඍජුව පසුගිය 1995-2015 දශකයට අදාළයි. ආරම්භක යුගයේ සිට 2015 දක්වාම සමෘද්ධි දීමනාව හා වරප‍්‍රසාද ලබාගැනීම සඳහා ප‍්‍රමුඛ (එකම) හේතුව බවට පත්ව තිබුණේ ආණ්ඩු පාක්ෂිකයෙක් වීම බවට පොදු විවේචනයක් තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් වත්මන් රජයට අලූතින් 600,000කට අධික පිරිසකට සමෘද්ධි හිමිකම ලබාදීමට සිදුව තිබෙනවා. ඒ සමෘද්ධි ප‍්‍රතිලාභ ලැබීමට හිමිකම ඇති මේ පිරිසට දේශපාලන බලපෑම මත එම හිමිකම අහිමි වූ බව පිළිගත හැකි නිසයි.

වසර 20කට ආසන්න කාලයක් ඉතා අඩු මුදලක් වූ සමෘද්ධි ප‍්‍රතිලාභය සියයට සියයකින් වැඩි කිරීමට (රුපියල් 1500 සිට 3000 දක්වා) වත්මන් ආණ්ඩුව 2015 වසරේ බලයට පත් වූ වහාම පියවර ගත්තා. පසුව 2015 අපේ‍්‍රල් මසායේදී සිය රුපියල් 3500 දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙය ‘‘සමෘද්ධි දීමනාව ප‍්‍රමාණවත් නැත’යි කාලයක් පුරා පැවැති මැසිවිල්ලට හොඳ පිළිතුරක් වූ බවට සැකයක් නැහැ. එහෙත් සංඛ්‍යා ලේණකාත්මකව විමසා බලන විට එක් සමෘද්ධිලාභයෙක් සඳහා මාසිකව ලැබී ඇති මූල්‍ය සහනාධාරය රුපියල් 2383ක් වැනි අගයක් පමණයි. එහෙත් ආසන්න වශයෙන් රුපියල් 40,000කට ආසන්න වැටුපත් ලබන නිලධාරීන් 26,000කට අධික පිරිසක් මේ සමෘද්ධි ප‍්‍රතිලාභීන් සඳහාම සේවයේ යොදවා සිටින බව අප වටහා ගත යුතුයි. ඒ අනුව එක් නිලධාරියෙක් සඳහා ආසන්න වශයෙන් සමෘද්ධිප‍්‍රතිලාභීන් 50 දෙනකු පමණ සිටිනවා. මේ තත්ත්වය තුළ සමෘද්ධි ප‍්‍රතිලාභියා සේම නිලධාරියා ද ඌණ උපයෝගී පුද්ගලයින් බව අපට වටහා ගැනීමට හැකියාව ලැබෙනවා.

දරිද්‍රතාව හා සමෘද්ධිය

ශ‍්‍රී ලංකාවේ නිල දරිද්‍රතා දර්ශකය සහ සමෘද්ධි ප‍්‍රතිලාභී හිමිකම අතර ද දැවැන්ත පරස්පරයක් තිබෙන බවක් දැකිය හැකියි. රාජ්‍ය සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ හිමි විය යුත්තේ දිළින්දන්ට පමණක් බවට තර්කයක් නැහැ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 25කට ආසන්න පිරිසක් නිල වශයෙන් සමෘද්ධි හිමිකම් ලැබීමයි. මෙය නිල දරිද්‍රතා සංඛ්‍යා දර්ශක අනුව සැසදීමක් කරන්නේ නම් 2016 වර්ෂයේදී ලංකාවේ ජනගහන දරිද්‍රතා දර්ශකය (ලංකාව) සියයට 4.1ක් වන විට එය ග‍්‍රාමීය වශයෙන් සියයට 4.3ක් ද, වතු අංශයේ සියයට 8.8ක් ද වුණා. අපට හඳුනාගත හැකි ආකාරයට සමෘද්ධි ව්‍යාපාරය සක‍්‍රීය ආකාරයෙන් ක‍්‍රියාත්මක වන්නේ දකුණේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලයි. (උතුරු නැගෙනහිර යුද තත්ත්වය හමුවේ එම ප‍්‍රදේශවල මේ වැඩසටහන ක‍්‍රියාත්මක වීම දුර්වල හෝ නොමැතිම තත්ත්වයක තිබුණා* එහෙත් නිල වශයෙන් දරිද්‍රතාවයෙන් පසුවන සියයට 4.1 ඉක්මවා සියයට 25කට ආසන්න පිරිසක් සමෘද්ධි හිමිකම ලැබීම හාස්‍යජනක සේම ඛේදජනක තත්්ත්වයක් බවයි පෙනී යන්නේ. මේ තත්ත්වය වඩාත් සරලව ප‍්‍රකාශ කළහොත් දුප්පතුන් නොවන අති බහුතරක් සමෘද්ධි සහනාධාරය හරහා අයථා ප‍්‍රතිලාභ ලබා ගනිමින් සිටිනවා. මෙය පොදුවේ සමාජයටත්, ආර්ථිකයටත් දැඩි හානිකර තත්ත්වයක් බව වටහා ගත යුතුයි. අනික් අතින් දුප්පතාගේ දේ සොරා ගැනීමක් වශයෙන් ද මේ තත්ත්වය හඳුනා ගත හැකියි.

‘‘සමාජ ආරක්ෂණ ජාල සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වලම අංගයක් විය යුතුය. මේ පසුබිම තුළ, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය – 2016 මගින්, රජය විසින් දියත් කර ඇති සමාජ ආරක්ෂණ වැඩසටහන් 13ක තොරතුරු මත පදනම්ව දරිද්‍රතාව කෙරෙහි එවැනි වැඩසටහන්වල ඇති බලපෑම පිළිබඳව විමසා බලා ඇත. ඒ අනුව, දිළිඳු ජනගහනයෙන් සියයට 2.6ක් දිළිඳු බවින් මුදා ගැනීමට සමාජ ආරක්ෂණ පැවරුම් හේතු වී ඇත. මෙම සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රම අතුරින්, විශ‍්‍රාම වැටුප් අරමුදල් මගින් දරිද්‍රතාව පිටුදැකීම සඳහා ඉහළම දායකත්වයක් ලබා දී ඇති අතර, එය නොමැති වූයේ නම් ජනගහන දරිද්‍රතා දර්ශකය සියයට 5.7ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර සමෘද්ධි දීමනාව නොමැති වූයේ නම් ජනගහන දරිද්‍රතා දර්ශකය සියයට 4.3ක් දක්වා (4.1 සිට 0.2කින් පමණක්) සුළු වශයෙන් ඉහළ යාම තුළින් මෙම සමාජ උපකාරක වැඩසටහන වඩා හොඳින් ඉලක්ක ගත කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි’’ (ශ‍්‍රී ලංකා මහ බැංකුව/වාර්ෂික වාර්තාව 2017, පිටුව 112)

මෙහිදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පැහැදිලිව පෙන්වා දෙන්නේ වාර්ෂිකව බිලියන ගණනක ඍජු මූල්‍ය සම්පාදනයක් සිදුවන සමෘද්ධි වැඩසටහන මගින් දිළිඳුකම පිටුදැකීමට ලැබෙන්නේ ‘‘සුළු’’ දායකත්වයක් පමණක් බවයි. මේ තත්ත්වය සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ යළි විධිමත් පසුවිපරමක් කිරීමට අවශ්‍ය නිසැක පසුබිම පෙන්වා දෙනවා.

සමාජ ආරක්ෂණ ජාල වැඩපිළිවෙළ සහ දිළිඳුකම තුරන් කිරීම පිළිබඳ සාකච්ඡුාවේදී එය හුදකලා සිදුවීමක් වශයෙන් නොව අන්තර්සම්බන්ධිත ක‍්‍රියාවලියක් වශයෙන් සැලකිය යුතුව තිබෙනවා. ඊට හේතුව වන්නේ රටේ දිළිඳු ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලවලට අමතරව තවත් විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක වන නිසයි. උදාහරණයක් ලෙස ලංකාවේ ප‍්‍රමුඛ සමාජ සංවර්ධන වැඩසටහනක් වූ ‘‘උදාගම් ව්‍යාපාරය’’ ද මේ දිළිඳු ජනහණය වටා කේන්ද්‍රගතව තිබෙනවා. 2019 වසරට අදාළව අයවැය ලේඛනය මගින් උදාගම් ව්‍යාපාරය සඳහා පමණක් රුපියල් බිලියන 65ක් වෙන් කර ඇති බව රජය පවසනවා. එසේම පොහොර සහනාධාරය, ඇතුළු තවත් සහනාධාර වැඩසටහන් ද, මේ දිළිඳු ජනගහනගයට ආමන්ත‍්‍රණය කරන ආකාරයක් දැකිය හැකියි. ඒ තත්ත්වය තුළ දිළිඳුකම පිටුදැකීම යනු සංකීර්ණ ක‍්‍රියාවලියක් බවත්, ඒ සඳහා විවිධ මූලාශ‍්‍ර මගින් දැවැන්ත රාජ්‍ය වියදමක් යොදවන බවත් අපට වටහා ගත හැකියි.

දිළිඳුකම ජයගත හැකිද ?

මෙය මානව ඉතිහාසය පුරාම සාකච්ඡුාවට ලක් වූ කරුණක්. මානව හා සමාජ විද්‍යාඥයින් ප‍්‍රකාශ කරන්නේ දිළිඳුකම මානව ඉතිහාසය පුරාම පැවති පොදු/සුලභ තත්ත්වයක් බවයි. එය ‘‘සාපේක්ෂ’’ තත්ත්වයක් වශයෙන් දැක්වීමට ද ඇතැම් සමාජ විද්‍යාඥයින් කැමැත්තක් දක්වනවා. උදාහරණයක් ලෙස බටහිර යුරෝපා රටක දිළිඳුකම/දරිද්‍රතාව දකුණු ආසියානු රටක දරිද්‍රතාවට වඩා වෙනස් තත්ත්වයක් ගන්නවා. එය ග‍්‍රාමීය /නාගරික වශයෙන් ද වෙනස් වෙනස් තත්ත්වයක් යටතේ සාකච්ඡුා කළ හැකියි. ඒ නිසා ‘‘පොදු’’ කුලකයක් තුළ දරිද්‍රතාව පිටුදැකීම ‘‘හුදු’’ සංකල්පීය සාකච්ඡාවක් බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය තුළ පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 වසර වන විට ගෝලීය වශයෙන් දිළිඳුකම පිටුදැකීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. ලංකාව 2017 ‘‘දිළිඳුකම පිටුදැකීමේ වසර’’ ලෙස නම් කරමින් දැවැන්ත වැඩසහන් දියත් කරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විද්වතුන් පෙන්වා දෙන්නේ සමාජ ආරක්ෂණ ක‍්‍රම මගින් දිළිඳුකම පිටුදැකීමට වඩා (මෙය අසීරු කරුණක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවා පිළිගන්නවා) දිළිඳුකම නිර්මාණය කරන හේතු බිඳ දැමීම මගින් දිළිඳුකම පිටුදැකීම ඵලදායී මෙන්ම තිරසර එකක් බවට ද පත්වන බවයි.

මාළු වෙනුවට බිලි පිත්ත

දිළිඳුකම පිටුදැකීමේ මුවාවෙන් ප‍්‍රාග්ධනමය නොවන හුදු සමාජ ආරක්ෂන ජාලවලට දිගින් දිගටම මුදල් යෙදවීම පොදුවේ සැලකෙන්නේ ‘‘දුප්පතුන්ට මාළු’’ බෙදාදීමක් ලෙසයි. එය පහසුවෙන් කළ හැකි අතර කෙටිකාලීන වාසි දෙපාර්ශ්වයටම හිමිකර දෙනවා.

ඒත් සමාජ සංවර්ධනයේදී වඩාත් වැදගත් ප‍්‍රවේශය ලෙස සලකන්නේ ‘‘බිලිපිත්තක් ලබාදීම’’යි. එය ‘‘මාළු වෙනුවට බිලිපිත්තක් ලබාදීම’’ ලෙස සැලකෙනවා. මෙහිදී බිලිපිත්ත සැලකෙන්නේ ආයෝජනයක් ලෙසයි. ප‍්‍රාග්ධනය ලෙසයි. බිලි පිත්තක් ලබා ගත් පුද්ගලයාට වෙහෙස මහන්සි වුණොත් මාළුවෙක් වෙනුවට මාළු ලොරියක් වුවත් අල්ලා ගත හැකියි. එයි ප‍්‍රමාණය තීරණය කරන්නේ තමා විසින්මයි. මාළු වෙනුවට බිලිපිත්ත ලබා ගත් මිනිසෙක් පමණක් දරිද්‍රතාවයෙන්, යැපුම් මානසිකත්වයෙන් ගොඩඑන බව සමාජ විද්‍යාඥයින් අවධාරණාත්මකව පෙන්වා දෙනවා (මෙය ඉහත සඳහන් දිළිඳුකමේ දෘෂ්ඨ චක‍්‍රය බිඳීමක් වශයෙන් සැලකිය හැකියි.)

ශ‍්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික, දේශපාලන හා සමාජයීය ප‍්‍රවණතා යළි යළිත් අවධාරණය කරන්නේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සහනාධාර ලබා දෙමින් හුදු ඡුන්ද බැංකු පුරවමින් ජාතික ආර්ථිකය වළට ගෙන යාම නොවෙයි. දිළින්දන්ට ‘‘මාළු’’ ලබාදීමක් නොවෙයි. ඔවුන්ට බිලිපිත්තක් ලබා දෙන ප‍්‍රවේශයක්.

Recommended For You

About the Author: Editor