විස්කම් බෝගයක්වූ ‘මුතු මෙනේරි’ රටට අහිමිවූ හැටි

පාහින්න බැරි රළු ධාන්‍ය පොත්තේ ‘දිගුආයු’ පෝෂක- කෘමි උවදුරු, ලෙඩරෝග නැතිව නිසරු පසෙත් වැවෙනවා- ගෝලීය උණුසුමත් සමග අනාගත ලෝකයට රළු ධාන්‍ය නැතුවම බැරිවේවි- හාල් පිසිද්දී ‘තණහාල්’ මිටක් දැම්මොත් පෝෂණය සපිරි බත්පතක්

ගිනිගහන මද්දහනේදී ආරක්‍ෂක රැකවලුන්ගෙන් ලැබුණු අවසරයෙන් නව පණක් ලැබූ ජනතාව ලහි ලහියේ යකඩ ගේට්ටු වලින් ඇතුළුව, තම ළබැඳියන් සොයා යති. ඇතැමුන් දිනකට පමණ සරිලන ආහාරපාන රැගෙන යන නමුත්, බොහෝ දෙනා අත ඇත්තේ සුළු ආහාරයක්ය. එක්කෝ සිලි සිලි මල්ලක දමාගත් කහ පැහැති දොඩම් ගෙඩි කීපයකි. නැතහොත් රතුපාට ඇපල්ය.

මාස ගණනකට පෙර චීනයේදී හෝ ඉන්දියාවේදී නෙලා, කල් තබාගැනීම උදෙසා අවැසි රසායනික සාත්තුවද නොඅඩුව සපයා මෙරටට එවීමෙන් අනතුරුව, විටෙක වතුර ස්ප්‍රේ කරමින්ද, තවත් විටෙක රෙදි කඩකින් පිසදමා ඔප දමමින්ද, වෙළෙන්දාගේ පලතුරු තට්ටුව මත දින ගණනක් තැබූ දෑ මෙලෙස ඔවුහු තම රෝගී සහෘදයා වෙනුවෙන් රැගෙන යති.

චේතනාවේ පිරිසිදු බව නිසා මේ දානය උතුම් වුවත්, පලතුරෙහි අපිරිසිදු අන්තර්ගතය නිසා අනුභව කරන්නාට සුළුවෙන් හෝ අහිතකර බලපෑමක් නොවන්නේදැයි කුමන සහතිකයක්ද? එදින මේ ජනගඟත් සමග මහනුවර මහ රෝහලේ වාට්ටු පසුකරමින් මාහට යන්නට සිදුවූයේද සරසවි සමයේදී එක පතේ බත් කෑ මිතුරෙකු රෝහල් ගතවී ඇතැයි යන ආරංචිය කනවැකුණු බැවිනි.

දශක දෙකකින් පමණ මෙම පැරණි මිතුරා ගැන කිසිදු ආරංචියක් නොවීය. ඔහු මෙරට සිටිනා බවක්වත් මා දැන සිටියේ නැත. හෙතෙම වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. පේරාදෙණිය සරසවියේ ඔහු නැවතී සිටියේ මහවැලි ගඟෙන් එහා පැත්තේ වූ අක්බාර් නේවාසිකාගාරයේය. ඔහු කෑමට රුසියෙකි. ඒ බව නේවාසිකාගාර සේවකයින්ට පවා රහසක් නොවූ බව මම දනිමි. ඔවුන් හොර රහසේම අප මිත්‍රයාට ‘කෑමදාස’ යයි නමක් පටබැඳ තිබුණු බව අප දැන සිටියත් ඔහු එවන් ‘කාඩ්’ එතරම් ගණන් ගත්තෙකු නොවේ.

කෙසේ වෙතත් අධික පෝෂණයටද සබඳකමක් ඇතැයි වෛද්‍යවරුන් විශ්වාසකරන බෝනොවෙන රෝගයක් උත්සන්න වීම හේතුවෙන් අද ඔහු රෝහල් ගතව සිටී. අපගේ තරුණ සමයේදී තිබූ ශරීර පෙනුම හා හැඩය හොඳටම වෙනස්වී ඇති බැවින් දෙදෙනාටම, දෙදෙනාම හඳුනාගැනීමේ යම් අර්බුදයක් පැනනැගුනත්, මාගේ පැමිණීම ඔහුට මහත් ආශ්වාදයක් වූ බව පෙනෙන්නට තිබුණි. ලෙඩා බලන්නට යත්දී මා කිසිවක් රැගෙන ගියේ නැත. එහෙත් ඔහුගේ සයනය අද්දර තිබූ කබඩ් එක මත ආහාර ද්‍රව්‍ය පිරිලාය.

“මම දැන් කන්නේ ඕට්ස්”

ඔහු සිනාසෙමින් වර්ණවත් අසුරනයක් මා වෙත දිගුකරයි. විද්‍යාව ඉගෙන ගත්තද, එය ඉංජිනේරු විද්‍යාව නිසා ඔහු සරසවි සමයේදීවත් කෑමවල ගුණාගුණ හෝ දිගපලල විමසුවේ නැත. එහෙත් මේ වනවිට ඒ ගැන සැලකිලිමත් වෙන බවක් පෙනෙන්නට තිබේ.

“මේක හොඳයිලු නේද මේ ලෙඩේට”

මම හිස සලා අනුමත කලෙමි.

ඕට්ස් ආහාරය අසනීපයට බෙහෙතක් නොවූවත්, රෝගය පාලනය කර තබා ගැනීමට ඉවහල් වියහැකි නිසා මගේ ප්‍රතිචාරය සාධාරණ යයි සිතමි. එම ‘ඕට්ස් කෑම’ අසුරණය ඕස්ට්‍රේලියාවේ සෑදූවකි. බර ග්‍රෑම් 500 ක් වූ එහි මිල රුපියල් 500 කට වැඩි බව ලේබලයේ සඳහන්ව තිබිණ. මෑතක සිට ව්‍යාපාරිකයින් විසින් ආනයනය කරන නිසාත්, ශක්තිමත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කර ඇති නිසාත්, කිලෝවක් සඳහා රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවා වුවත් මෙය මිලදී ගන්නා තරමට හීලෑවූ පාරිභෝගික පිරිසක් දේශීයව දැන් බිහිවී හමාරය.

ඕට්ස් යනු ධාන්‍යයකි. මේ පුවත මිලට් (Millets) ගැනය.

මිලට් වර්ග හඳුන්වා දියහැක්කේ ඕට්ස් වලින් කරගන්න දෙයට වඩා වැඩි යමක්, පසුම්බියට එතරම් වදයක් නොදී කරවාගත හැකි ධාන්‍ය වර්ගයක් වශයෙනි. ලෝකයේ වගාකරන ධාන්‍ය අතරින් බඩඉරිඟු, වී, තිරිඟු, බාර්ලි, හා සෝගම් වලට පසුව හයවෙනි තැන ගන්නේ මිලට් ය. ඕට්ස් හත්වෙනියා වී සිටී.

මෙය රළු ධාන්‍ය සේද ඇතැම්විට නම් කලත්, රළු ධාන්‍යය කාණ්ඩය තුලට ලොකුඇට සහිත සෝගම් ද ඇතුලත් වන නිසා සිංහල නාමකරනයෙදී නම් යම් පටලැවිල්ලක් සිදුවී ඇති බව පෙනෙන්නට ඇත. අවුරුදු දස දහස් ගණනක අතීතයේදී පවා උතුරු චීනයේ විසූ ජනයා ප්‍රධාන ආහාරයක් ලෙස මිලට් අනුභව කල බවට සාක්ෂි තිබේ. චීනයේ ඉතිහාසගත පළමු රාජවංශය වූ ‘සියා’ යුගයේදී හවුජී නමැති කල්පිත වීරයෙකු විසින් මෙම බෝගය දෙව්ලොව සිට රැගෙනවිත් ඔවුනට හඳුන්වා දුන්නා යයි චීනුන් අතර විශ්වාසයක්ද පවතින නිසා චීනයේ ආදිවාසීන්ට මිලට්, තම ශුද්ධ වූ බෝග පහෙන් එකක් වී තිබේ.

එසේ වුවත් තිරිඟු, බඩඉරිඟු  හා සහල් පාදකව බිහිවූ ‘හරිත විප්ලවය’ හරහා මෙම දෙවියන්ගේ බෝගයට වැදුනේ මරු පහරකි. ඉන්දියාවේ මිලට් නිෂ්පාදනය 1966 වසරේ සිට 2006 දක්වා කාලය තුල 44% කින් පහල වැටුනේ මෙම හරිත විප්ලවය නිසාය.

“ලෝකයේ වගාකරන පැරණිම ධාන්‍ය වර්ගය තමයි මිලට්. අපේ රටේ මිලට් වර්ග ගණනාවක් තියෙනවා. තණහාල්, මහ මෙනේරි හා හීං මෙනේරි, අමු, වගේ දේවල් තමයි ගොවීන් ළඟ තවමත් සුළු වශයෙන් තියෙන්නේ. ඉන්දියාවේ තිබෙනවා මුතු මෙනේරි කියල ජාතියකුත්. අපි ළඟ තිබෙන ජනප්‍රිය මිලට් වර්ගය තමයි කුරක්කන් (Finger Millet).

අපගේ මිත්‍රයාගේ ඕට්ස් පැකට්ටුවෙන් මා තුල ඇවිස්සුනු කුතුහලය සංසිඳවා ගැන්මට කරුණු සොයායාමේදී එම හැඳින්වීම පැවසූ ඇය, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ විද්‍යා අංශයේ මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකර යි. දේශීය මිලට් වර්ග ගණනාවක් ගැන පර්යේෂණ පවත්වා ලබාගත් තොරතුරු රැසක් ඇය සතුව තිබේ.

කුරක්කන්  හැරුණුවිට ඉහත සඳහන් කල දේශීය මිලට් වර්ග ගැන තවමත් නිසි අවධානයක් සමාජය තුල පෙනෙන්නට නැත. මිලට් වවන්නට ගොස් අසාර්ථකවී ගිමන් හරිනවාද විය හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයින් වෙතින් යම් බෝගයක් ප්‍රවර්ධනයට අවැසි පසුබිම සෑදෙන්නේ නැතිව කෘෂිකර්මයේ කට්ටියට බෝග වවන්නත්, විකුණන්නත්, කවන්නත් බැරි බව අතීත තොරතුරු අනුව පෙනීයන කරුණකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කර පසුව වයඹ විශ්ව විද්‍යාලයට එකතුවී, එහි උපකුලපති ධූරයද හොබවා විශ්‍රාම ගිය මහාචාර්ය සුමිත්‍ර ජයසේකර මහතා, මිලට් කෙරෙහි ඇති ගොවි ප්‍රතිචාරය ගැන අපූරු කතාවක් මා සමග පැවසුවේ ඔහු ලද අත්දැකීමක් ඇසුරෙනි.

“දැනට වසර 25 කට විතර ඉස්සරදි අපි වියලි කලාපයේ ගොවීනට හඳුන්වා දුන්නා ඉන්දියාවේ ජනප්‍රිය මිලට් වර්ගයක්. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබුණු ව්‍යාපෘතියකින් ඒක මෙහාට ගෙන්නුවේ සුදත් ආබෘ කියල එකල හිටපු අධ්‍යක්ෂවරයෙක්. මේ මිලට් වර්ගයේ ඇට පැහැපත්. මුතු වගේ. ඒ නිසා අපි නමතුත් යෝජනා කෙරුවා මුතු මෙනේරි කියල. එය ඉංග්‍රීසියෙන් යොදා ඇති පර්ල් මිලට් (Pearl millet) කියන නමටත් ගැලපෙනවා. පොඩි ප්‍රමාන වලින් තමයි අත්හදා බලන්න ගොවීන්ට දුන්නේ. හොඳට වැවුනා. හැබැයි ගොවීන් වෙතින් හෙමිහිට ප්‍රතික්ෂේප වූ නිසා වැඩේ ඉදිරියට ගියේ නෑ.”

රසවත් තොරතුර ඇත්තේ මහාචාර්යවරයාගේ කතාවේ ඉතිරි කොටස තුලයි.

“ගොවි ගෙදර කාන්තාව මුතු මෙනේරිවලට බොහොම කැමතියි. ඒත් පිරිමියා අකමැතියි. ගොවිතැන භාරව ඉන්නේ පිරිමියානේ. ඒක තමයි ගෙදර බවලතා කැමති උනත් මුතු මෙනේරි වගාව ඉදිරියට නොගියේ. අපි මේ විෂමතාවයට හේතුව හෙව්වා. මුතු මෙනේරි ටිකක් අස්වැන්න හැටියට ගෙට ගත්තහම ආහාර අතින් අපි සුරක්ෂිතයි කියලයි කාන්තාව කියන්නේ. ඉන් ටිකක් අඹරල රොටී හදල, රස්නේ පිටින්ම ඒ මත මී තෙල් ටිකක් ගාල ගත්තහම දරුවෝ බඩ පිරෙන්න කන බව ඔවුන් කිව්වා. ඒ උනාට කවුපි ටිකක්, මුංඇට ටිකක් ගෙදර තියෙනවා නම් පිරිමියාට හැන්දෑවට එයින් කිලෝවක් දෙකක් මුදල් කරගෙන පොඩිපහේ මධුවිත සප්පායමක් වීමේ අවස්ථාව තිබුනා. මුතු මෙනේරිවලින් ඒ වැඩේ කරන්න බෑ. මොකද හදිස්සියට ඒක විකුණගන්න බෑ. දඩිබිඩියේ කන්න පුළුවන් කෑමක් නෙවෙයිනේ.”

මහාචාර්යවරයා පවසා සිටී. වියලි කලාපය ජයගත් මුතුමෙනේරි වගාව දළුලා ලියලා ආවේ නැත. හේතුව සරලය. ගොවියා එය පිලිනොගැනීමයි. එහෙත් කෘෂි විද්වත්තු තිරය පිටුපස කතාව දැනගෙන සිටියහ. ඔවුනට වුවත් තනි අතින් අත්පුඩි ගසන්නට නොහැකි නිසා, මී තෙල් ‘බටර්’ ගෑ මෙනේරි රොටියකින් දරුවන්ගේ බඩගින්දර නිවූ මුතු මැණිකේගේ මුතු මෙනේරි මල්ල අහවර වනතෙක් ඔවුහු සංවේගයෙන් බලා සිටියහ.

අස්වැන්න ලෙස ගෙට ගන්නා මෙනේරි ගෝනියට මිලක් ලබා දෙන්නට කෘෂිකර්ම විද්වතුන්ට හැකියාවක් නැත. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු අංශයන් අකර්මන්‍ය නම් අනාගතය වෙනුවෙන් බෝගයක් හඳුන්වාදීම ඉදිරියටත් අසාර්ථක වීම අරුමයක් නොවේ.

මුතු මෙනේරි ඉතා අඩුවෙන් ජලය පාරිභෝජනය කරන බෝගයකි. එසේම දැඩි හිරුරැස් හා උණුසුම විඳ දරාගනී. ඉඩෝර කාල පහසුවෙන් තරණය කරයි. පොහොර ඉල්ලා කෑ ගසන්නේද නැති අතර, රෝග පලිබෝධ යනාදියටද ප්‍රතිරෝධීව ක්‍රියා කරයි. පරිසර අර්බුදයන් හමුවේ තැවෙන වියලි කලාපීය ගොවියා සනහන්නට සත්තකින්ම මෙය දෙවියන් විසින් එවූ බෝගයක්ම බව පිළිගත්තාට වරදක් නැත.

මීට විසිපස් වසරකට පෙර කෘෂි විද්වතුන්ගේ උත්සාහයන්ට තල්ලුවක් දෙමින් මුතු මෙනේරි වගාව මෙරට ස්ථාපනය කරන්නට වගකිවයුත්තන් උනන්දු වූවානම්, වියලි කලාපීය ගොවියාගේ අද දවස මීට වඩා සරු වන්නට ඉඩ තිබුණි. බඩ දැවිල්ල හැදෙන තුරු නිසරු පාන්පිටි ගිලින රටවැසියාගේ පෝෂණ තත්වය ඉහල යාමටද ඉඩ තිබුණි. රෝහල් ඇඳ අද්දර ඇති ‘ඕට්ස්’ පැකට්ටුව වෙනුවට මුතු මෙනේරි වලින් සැකසූ ‘උදෑසන කෑම ධාන්‍ය’ ඇසුරුමක් තිබෙන්නටද හොඳටම ඉඩ තිබුණි. ලෝකයේ මිලට් නිෂ්පාදනයෙන් අඩකටත් වඩා අත්පත් කරගෙන ඇති ‘මුතු මෙනේරි’ බෝගය අපට අහිමිවූයේ එලෙසින්ය.   

මෙවන් පසුබිමක තණහාල් වලින් සෑදිය හැකි ආහාර වට්ටෝරු අන්තර්ගත පොත් පිංචක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය මගින් මෑතකදී එළිදක්වා තිබීම පැසසිය යුත්තකි. තණහාල් බිස්කට් ආදිය පවා හදන හැටි එහි තිබේ. ඔවුන්ගේ අභිලාශය මෙම අනගි ආහාරය කෙසේ හෝ ජනගත කිරීමයි. දැන් ජනතාව අපෙන්ම අසන්නේ තණහාල් මිලයට ගතහැකි තැනක් ගැනය. ඔවුනට මිලදී ගැනීමේ ප්‍රශ්නයකි. තිස්සමහාරාමය, මොනරාගල පැත්තේ සුළු වශයෙන් මෙම මිලට් වර්ග වගා කරන ගොවීන්ගෙන්, යහමින් නොවවන හේතුව ඇසූවිට දැනගන්නට ලැබෙන්නේ අලෙවි කරගත නොහැකි නිසා වවන්නේ නැති බවකි. වෙළඳපොළෙහි බෝගය සුලභව පවතිද්දී කෑම වට්ටෝරුව ආවානම් එහි අගය කීමට වචන නැත. දැන්නම් හිතෙන්නේ මධුසමය ගතකර දෙවැනි ගමනද අවසන් වී ඇතත්, කසාදය තවමත් ලියාපදිංචි කර නැතුවා සේය.

ගොවීන් සතුව තමාගේම මිලට් බීජ තිබේ. අනාදිමත් කාලයක සිට නොනැසී අතින් අත පැමිණි ඒවා වෙනුවෙන් වර්ග වැඩිදියුණු කිරීමේ පර්යේෂණ අවශ්‍ය නැත. අන් කිසිදු බෝගයකට වඩා පහසුවෙන් ‘කාබනික’ කළහැකි බෝගයද වන්නේ මිලට්ය. රාජ්‍ය මැදිහත්වීමෙන් නිෂ්පාදනයන් මිලට ගැනීමේ ක්‍රමවේදයක් සෑදීමත්, එය පරිභෝජනය කිරීමේ පහසු ක්‍රමවේදයන්  සමාජය තුල ප්‍රචලිත කිරීමත්, මිලක් නැති මිලට් නගා සිටුවීමේ මූලික පියවරයන් බව බලධාරීන් තේරුම් ගත යුතුය.

කෙරෙන අනාවැකි වලට අනුව, ඉදිරි දශක කීපය තුල මහ පොලොව සෙන්ටිග්‍රේඩ් අංශක දෙක තුනකින් ඉහලට රත්වෙන බව නම් කියවෙන අතර ඊට සමපාතව ජල හිඟයක් අප බලාපොරොත්තු විය යුතුය. මේ හමුවේ වගා පාළුවී දිළිඳු රටවල මන්දපෝෂණයද ඉහල යනු ඇත. මෙම උවදුරු තුනටම හරියන්නට දෙවියන් විසින් මවා මෙලොවට ඒවා ඇති බෝගය මිලට් ය. එය උණුසුම දරාගෙන වාරි ජල සැපයුමක් ගැන සිතන්නේවත් නැතිව කර්කශ පරිසරය සිසාරා වැඩේ. මිනිස් දිවිපැවැත්ම ශක්තිමත්ව පවත්වා ගැනීම උදෙසා අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථයන්ද නොඅඩුව සාදා ගබඩාකර ගනී. එසේ නම් අනාගතය භාරගන්නා විශ්මිත බෝගය මෙය නොවන්නේද? කෘෂි විද්වතුන් දැනටමත් මෙවැනි බෝග තෝරා අවසන්ය. පෝෂණ විද්වතුන් ඒවාහි පෝෂණ ගුණය ගණනය කිරීමත්, කෑම වට්ටෝරු සෑදීමත් සිදුකර හමාරය. එහෙත් පානුයි පරිප්පුයි තිබෙනතාක් කල් මිලට් කන මිනිසුන් බිහිවීම සිහින ලෝකවලටම සීමා වෙනු ඇත. මිලට් වල පෝෂණ ගුණය ගැන නැවතත් කතාකෙරුවේ මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකරයි.

“කලකට ඉහතදී ධාන්‍ය වර්ගවල පොත්ත ගණන් ගත්තේ නෑනේ. ඒ කාලේ පෝෂණය කියල කිව්වේ මදයේ තියන පිෂ්ඨය, ප්‍රෝටීන්, තෙල්, විටමින් හා ඛනිජ වලට. පොත්තේ තියෙන දේවල් වලට කිව්වේ ප්‍රතිපෝෂක (Anti nutrients) කියල. ඒ කියන්නේ පොත්තේ තියෙන යම් යම් සංයෝග ප්‍රෝටීන් ආදිය සමග බැඳිලා ඒවා ශරීරයට උරාගැනීමේ බාධා පමුණුවනවා. දැන් බටහිර ජාතීන් ඒකත් හොඳක් හැටියටයි සලකන්නේ. වැඩිපුර මස් පාරිභෝජනය කරන අයට එම බාධාව ආශීර්වාදයක්. මේ නිසා දැන් නමත් වෙනස් වෙලා. ප්‍රතිපෝෂක වෙනුවට දැන් ඔවුන් කියන්නේ පොත්තේ තියෙන්නේ ‘දිගුආයු පෝෂක’ (Lifespan nutrients) කියලයි. ජීවිතය පවත්වා ගැන්මට ධාන්‍ය පොත්ත සිදුකරන අගනා මෙහෙවර ගැන දැන් ඔවුනට තේරිලා”

චීන ජාතිකයින්ට දෙව්ලොව සිට ලැබුණු මිලට් අපට කන්නට වෙන්නේ පොත්තත් සමගය. ඇටවල කුඩා බව නිසා ඒවා පාහින්නට නොහැකිවේ. මේ හරහා පොත්තෙහි අන්තර්ගත ශරීරයට හිතකර රසායනයන් ගණනාවක් නොදැනීම ගතට ඇතුල්වේ. පසුගිය ලිපියකදී අප කතාකල ප්‍රතිඔක්සිකාරක මේ අතර ප්‍රධානය. සාමාන්‍යයෙන් මිලට් වර්ග වර්ණවත්ය. ප්‍රතිඔක්සිකාරක ඇති බවට මෙය හොඳ සංඥාවකි. ඒ නිසා එළවලු හා පලතුරු අඩුවෙන් කැවෙන්නේ නම්, මිලට් වර්ග හරහා එයටද සාධාරණ විසඳුමක් සොයාගත හැකිවේ. මිලට් මදයේ පිෂ්ටයද ‘පාන්පිටි’ වර්ගයේ එකක් නොවේ. එහි ග්ලුටන් නැත. පාන්පිටි නිසා ආමාශයික ආබාධ හටගන්නා සීලියැක් රෝගීන්ටද මෙය සහනයකි.

“ගොවීන් මෙය වගාකරලා වෙළඳපොළට එවනවානම් අපි කියල දෙන්නම් ඉතිරි ටික”

පිතිකරු සූදානමිනි. පන්දු යවන්නාද තම සීමාවේ සිට දිව ඒමට දෙපා සොලවයි. එහෙත් ඔහු අත පන්දුව නැත. රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් පන්දුව සඟවාගෙන සිටී.

“අද ගෘහණිය කාර්ය බහුලයි. බොහෝ අය වැඩට යනවනේ. ඉතින් මේ සාම්ප්‍රදායික ආහාර ගුණය අපි කොහොමද ගන්නේ කියල සමහරු කනස්සල්ලෙන්. මම මෙහෙම කියන්නම්. හාල් සෝදලා ලිපේ තියෙනකොට ඒකට තණහාල් අහුරක් දාන්න. දෙකම එකට ඉදෙයි. බතට අමුතු පෙනුමකුත් ලැබෙයි. ‘දිගුආයු පෝෂක’ වලිනුත් දැන් එය සරුයි. ඕනෑම මිලට් වර්ගයක් මේ ක්‍රමයට පහසුවෙන් ආහාරයට එකතු කරගන්න පුළුවන්. අද පොප්කෝන් ජනප්‍රියයි නේ. ඇයි අපි කුරක්කන් වලින් ඒ විධියට පොරි හදන්නේ නැත්තේ. කුරක්කන් කියන්නේ කැල්සියම් වලින් පොහොසත් මිලට් වර්ගයක්. සහල් වලට වඩා කීපගුණයක් කැල්සියම් එතන තියෙනවා. හැම මිලට් වර්ගයකම අඩු වශයෙන් සහල් වලට වඩා දෙගුණයක් වත් කැල්සියම් තියෙනවා. ‘අමු’ කියන මිලට් වර්ගය සමග අපි විද්‍යාගාර මට්ටමේ කල පර්යේෂණ වලින් පෙනිලා තියෙනවා ‘අමු’ සාරය හමුවේ පිළිකා සෛල බිහිවීම අඩපන වෙන බව.”

මුතු බණ්ඩාගේත් ඇඹනියගේත් ආරෝව හේතුවෙන් ලොව වැඩියෙන්ම වගාකෙරෙන මිලට් නොහොත් රළුධාන්‍ය වර්ගය වන මුතු මෙනේරි අපට අහිමි විය. ඊළඟට වැඩිම ඉඩක් මහපොළොවේ වෙන්කරගෙන සිටින්නේ තණහාල් වේ. තවමත් මෙරට වියලි කලාපීය ගොවියා තමාගේ ප්‍රයෝජනය පිණිස සුළු වශයෙන් එය වගාකරයි. හැදෙන දරු පරපුර වෙනුවෙන්වත්, මෙම අනගි ආහාරය රැකගෙන පරිභෝජනය දියුණුකිරීම උදෙසා අප උනන්දු නොවන්නේ නම් මතු දිනෙකදී මෙවන් ලිපියක් අතුරුදහන්වූ ‘තණහාල්’ වෙනුවෙන්ද කවුරුන් විසින් හෝ ලියනු ඇත. ජාතිය වඳවීමට මන්දපෝෂණයද හේතුවෙන බව බොහෝ දෙනෙකුට දැන් අමතකවී ඇති බවක් පෙනේ.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor