ගෝඨාට බැණ බැණ ගිය කුමාර වෙල්ගම බදුල්ලෙන් පන්නා දමයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉවත් කිරීමට කිරීමට ඊයේ (29) රැස්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේ බහුතර කැමැත්තෙන් පියවර ගත්තා.

වෙල්ගම මහතා වෙනුවට බදුල්ල දිස්ත‍්‍රික් සංවිධායක ධූරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පස්වරුවේ රැස් වු අතර එහිදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

කුමාර වෙල්ගම මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව විවේචනය කිරීම මේ සඳහා ප‍්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ. ඒ මහතා පසුගිය කාලය පුරාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සූදානම ප‍්‍රබල ලෙස විවේචනය කළා.

බදුල්ලෙන් ගත් මෙම තීරණය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානග වීම සඳහා සිදුවන සාකච්ඡවලට රතුඑළියක් දැල්වීමක් බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ. මේ සමග මේ වන විට ශ‍්‍රීලනිපය සමග සිටින දයාසිරි ජයසේකර ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ දේශපාලන අනාගතයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන් ප‍්‍රසන්න රණතුංග ඇතුළු පොදුජන පෙරමුණේ තරුණ නායකයින් ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වීම දැඩිව ප‍්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගේ දැඩි ස්ථාවරය වන්නේ ජනපති අපේක්ෂකත්වය සේම අගමැති අපේක්ෂකත්වය ද ශ‍්‍රීලපොපෙ සතු විය යුතු බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කළා.

Recommended For You

About the Author: Editor