පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අමතරව වන්දි ගෙවීමට වුවමනානම් එය ගෙවීමටත් රජය සූදානම් – අගමැති

පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට කලින් නිම කොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ ඊයේ (29 වන දා) මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.

යුධ හමුදාව විසින් සිදු කරන ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රගතිය පිළිබඳව විමසා බැලූ වික්‍රමසිංහ මහතා කඩිනමින් හා කාර්යක්‍ෂමව එම කාර්යයන් සිදු කරන හමුදා නිලධාරීන් හා සෙබළුන් වෙත සිය ප්‍රසාදය ද පළ කළේය.

ප්‍රහාරයෙන් අනතුරට පත් පුද්ලයන්ගේ ශාරීරික හා මානසික හානි සුවපත් කරලීම සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද අගමැතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.

දේවස්ථාන පූජක රොෂාන් මහේෂ් මනෝෂන් දේවගැතිතුමන් පැවසූයේ මේ අවස්ථාවේ අගමැතිතුමන් ප්‍රමුඛ රජය දක්වන සහයෝගය හා ලබාදෙන ශක්තිය පිළිබඳව තමන් සිය බලවත් කෘතඥතාව පළ කර සිටින බවය. සිද්ධිය වූ අවස්ථාවේ පටන්ම අගමැතිතුමන් මේ පිළිබඳව විමසා බලමින් ගොඩනැගිලි හා ජීවිත යළි යථා තත්වයට පත් කරලීමේ ක්‍රියාවලිය සඳහා ලබා දුන් නායකත්වය මුළු මහත් ප්‍රජාවගේම ගෞරවයට හේතු වී ඇති බවද මනෝෂන් දේවගැතිතුමා පැවසීය.

ඉන් අනතුරුව අගමැතිවරයා මඩකලපුවේ කතෝලික හා ඇන්ග්ලිකන් දේවස්ථාන වෙත ද ගොස් භාරකාර පියතුමන්ලා හමුවී සාකච්ඡා පැවැත්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මෙම සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩකටයුතු නත්තලට පෙර අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් දැනුම් දී තිබෙනවා.  මෙම දේවස්ථානයට අයත් තුවාල ලැබූ අය ගැන සහ එම පවුල් පිළිබඳ සොයා බැලීමට මම පැමිණියා. අපේ පුජකතුමන් ඒ ගැන දැනටමත් වාර්තාවක් දී තිබෙනවා. දැනට ආණ්ඩුවෙන් සිදුවිය යුතු වැඩ කොටසක් සිදුවී තිබෙනවා.

විශේෂයෙන් මෙම පල්ලිය සඳහා ආණ්ඩුවේ ආයතන නිලධාරීන්ගෙන් ප්‍රශ්නයක් වෙනවා නම් මම දැන් කොළඹට ගොස් ආදාළ අමාත්‍යංශ සමග සාකච්ඡා කරනවා. අපි අරගෙන තිබෙන සම්පූර්ණ පියවර පියතුමන්ට දැනුම් දුන්නා.

දැනට මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පහක උපරිමයට වන්දි මුදල්වල පළමු වන වටය අපි ගෙවා තිබෙනවා. මේ අනුව මිය ගිය පුද්ගලයන් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185 ක වන්දි මුදලක් ගෙවා තිබෙනවා. ඒ වෙනස පොඩ්ඩක් තිබෙන්නේ සමහර අය විදේශකයින් නිසා. හඳුනාගෙන නැති පුද්ගලයින්නුත් සිටිනවා. තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලක් මේ වනවිට ගෙවා තිබෙනවා.

මීට අමතරව වන්දි ගෙවීමට උවමනානම් එය ගෙවීමටත් අපි ලෑස්තියි. ඒ ඒ පුද්ගලයා දිහා බලා ඒ තීරණය ගැනීම ස්වාධීන ආයතනයක් වන හානි පූර්ණ කාර්යාලයට භාරදී තිබෙනවා. මීට වැඩිපුර වන්දි ගෙවියුතු කවුද කියා සොයා ඒ අයට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය අපිට දැනුම් දුන්න පසු රජයෙන් එම මුදල් ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා.

දැනට රෝහල් ගත වී සිටින පුද්ගලයින්ට විදේශ ප්‍රතිකාර උවමනා බව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දෙනවා නම් ඒ පිළිබඳවත් අපි ක්‍රියා කිරීමට ලෑස්තියි.  පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් දෙමාපියන් නැතිව අසරණ තත්ත්වයට පත්වී සිටින ළමුන් 33 දෙනෙකු රැක බලා ගැනීමට සහ ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා භාර අරමුදලක් ආරම්භ කිරීමට අපි බලාපෙරොත්තු වෙනවා. අපි දැන් වන්දි ගෙවීමට ක්‍රියා කරගෙන යනවා. ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන අපි පළමුවෙන්ම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම පසුව ඇතිවුණු කලබල වලින් හානියට පත් දේපල හා නිවාස වෙනුවෙන් වන්දි ලබා දීමටත් පියවර ගන්නවා

Recommended For You

About the Author: Editor