විශිෂ්ඨ මිත‍්‍රත්වයේ සංකේතයක් වූ ලෝකයට සුවිශේෂී දවස

ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නාහෙට නාහන පාලකයෙක් බවට ඇමෙරිකානුවන් වාගේම තවත් බොහෝ රටවල ජනතාව චෝදනා කරනවා. ඇත්ත තමයි, ඔහු කරන – කියන බොහෝ දේවල් මතභේදාත්මකයි, විශ්වාස කිරීමට පවා අසීරුයි. ඇතැම් විට ඒක ට‍්‍රම්ප්ගේ අනන්‍යතාවම විය හැකියි.

ට‍්‍රම්ප් පසුගිය දා පැවැති ජී.20 රාජ්‍ය නායක සමුළුවෙන් පසු මාධ්‍ය හමුවට පැමිණ කතා දෙකක් කිව්වා. එකක් ඔහු චීනය සමග නැවත වෙළෙඳ සාකච්ඡුා ආරම්භ කිරීමට සූදානම් බව. දෙක තමා දකුණු කොරියාවේ දෙදින සංචාරයක නිරත වන බව. එහිදී කොරියානු අර්බුදය ගැන සාකච්ඡුා කරන බව. ට‍්‍රම්ප්ගේ දකුණු කොරියා සංචාරයට මුළු ලෝකයේම අවධානය යොමු වුණේ ට‍්‍රම්ප් උතුරු – දකුණු යුධ මුක්ත කලාපයට යනු ඇතැයි වාර්තා පළ වීමත් සමගයි.

ඒ කතාව සැබෑවක් කරමින් ට‍්‍රම්ප් ඊයේ ඓතිහාසික පියවරක් තැබුවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් ඊයේ (30) උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී හමු වුණා. ඒ බලයේ සිටියදී උතුරු කොරියාවට පය තැබූ මුල්ම /ප‍්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙමින්.

මේ හමුව කඩිමුඩියේ සිදුවූවක් බව බැලූ බැල්මට පෙනුණත් ඊට එහා ගිය කතාවක් මේ හමුව තුළ තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. ඔවුන්ට අනුව ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් ඔස්සේ උතුරු කොරියානු ජනාධිපතිවරයාට කළ ආරාධනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙම හමුව සුදානම් කර තිබෙනවා.

මේ ගැන අදහස් දක්වමින් ට‍්‍රම්ප් පසුව පැසවුවේ ‘‘උතුරු කොරියානු නායකයා ආරාධනාව පිළිනොගත්තේ නම්, මාධ්‍ය මාව බොහොම නරක විදියට දකින්න තිබුණා’’ කියලයි. මේ ඓතිහාසික හමුව ගැන නායකයින් දෙදෙනාටම කියන්න කතා තිබුණා.

මෙම හදිසි හමුව ගැන අදහස් පළ කරමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ එය ඔවුන් දෙදෙනා අතර පවතින, විශිෂ්ට, මිත්‍රත්වයේ සංකේතයක් බවයි. ට‍්‍රම්ප්ට පැවසුවේ එය ‘‘අද ලෝකයට ඉතා සුවිශේෂී දවසක්’’ වන බවයි.

ට‍්‍රම්ප් – කිම් හමු වී සුළු මොහොතකට පසු දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක් වීම කාගෙත් අවධානය දිනා ගත්තා. එහිදී දකුණු කොරියානු නායකයා පැවසුවේ ‘‘මෙම හමුව නිසා කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බවයි’’

ධවල මන්දිර උපදේශකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජෙයාඩ් කුෂ්නර් ද මෙම සංචාරයට සහභාගී වී සිටියා. ඉවන්කා ට්‍රම්ප් මෙය හැඳින්වූයේ ‘‘විශ්මයජනක හමුවීමක් ’’ලෙසයි.

ඇමෙරිකානු – උතුරු කොරියානු නායකයන් දෙදෙනා අතර හමුව කෙටි වෙලාවකට සැලසුම් කර තිබුණත් පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත් වීම ද විශේෂත්වයක්. ‘‘මම උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කළා’’ යැවි ට‍්‍රම්ප් පසුව මාධ්‍ය හමුවකදී කිව්වා.

රු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි හමුදා කඳවුරක් වෙත පියාසර කළා. එහි රැස්ව සිටි හමුදා සාමාජිකයන් අමතමින් ට‍්‍රම්ප් පැවසුවේ ‘‘ඒකඓතිහාසික මොහොතක් වගේම ඉතා හොඳ මොහොතක්’’ වූ බවයි. නායක හමුව දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවල විකාශය කිරීම ද සුවිශේෂත්වයක්.

Recommended For You

About the Author: Editor