එල්ලන්න නියමිත 20 දෙනාගේ නම් හැර අනෙක් තොරතුරු එළියට දෙන්න නියෝග

මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ මරණීය දණ්ඩනය නියම කිරීමට අදාළව බන්ධනාගාර ආඥාපනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාසි මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ අභියාචනා දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී තොරතුරු කොමිෂම මෙම නියෝගය නිකුත් කළේය.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් මරණීය දණ්ඩනය නියම කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද නම් ලැයිස්තුව, ඔවුන්ට දඩුවම් නියම වූ දින, ඊට අදාළ නඩු අංක සහ බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාළව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට මෙම අභියාචනා කර තිබුණි.

තොරතුරු කොමිෂම විසින් අද දින එම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙනුවෙන් නිලධාරීන් පෙනී සිටි අතර මරණීය දණ්ඩනය නියම කිරීම සඳහා 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවක් තමන් නොදන්නා බව අමාත්‍යංශ නිලධාරීන් විසින් දැනුම් දී තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු කොමිෂමට දැනුම් දී ඇත්තේ එවැනි ලැයිස්තුවක් බන්ධනාගාර අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.

මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් තොරතුරු කොමිෂමට දැනුම් දුන්නේ එම ලැයිස්තුව ලබා දීමට නම් එහි නම් සඳහන් සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බවයි. එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාළව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන ලෙස නියෝග කළේය.

මේ අතර මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සම අද (2) පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබූ අතර එම රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Recommended For You

About the Author: Editor