පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීම නීති සහ දේශපාලන අංශවල දැඩි අවධානයට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නීතිපතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීති සහ දේශපාලන ක්ෂේත‍්‍රවල දැඩි අවධානයට යොමුව තිබෙනවා. .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාව සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත්තා.

ඒ ඊයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ ලිඛිත නියෝගයකට අනුවයි.

ඒ අනුව අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන මෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතා නියෝග කර තිබූ අතර ඒ වෙනුවට හේමසිරි ප‍්‍රනාන්දු මහතා අද අසනීප තත්ත්වයක් බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව සිටියා.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන මෙන් නියෝග කර තිබුණත් ඔහු නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව සතිබූ අතර ඔහුව ද නාරාහේන්පිට පොලිස් රෝහලේදී අත්අඩංගුවට ගත්තා.

මේ අත්අඩංගුවට ගැනීම් සිදු වුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට ජනපතිවරයා විසින් පත්කළ විජිත් මලල්ගොඩ ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවල නිර්දේශ අනුව බවයි ප‍්‍රකාශ වෙන්නේ.

ඒ කෙසේ වෙතත් ජනපතිවරයා විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ ත‍්‍රිපුද්ගල කොමිෂමේ අවසන් වාර්තාව මේ දක්වා ප‍්‍රසිද්ධියට පත්කර නැහැ. එය මහජනතාවට ප‍්‍රසිද්ධ කරන බව ජනපතිවරයා ආරම්භයේදී සඳහන් කළත් එය මේ දක්වා ප‍්‍රසිද්ධියට පත්කර නැහැ.

ඒ අනුව ජනතාවට ප‍්‍රසිද්ධ නොකළ කොමිෂම් සභා වාර්තාවක් පදනම් කරගෙන පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම නීති හා දේශපාලන ක්ෂේත‍්‍රයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ පොලිස්පතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා ද පාස්කු ඉරිදා පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ සිදුකළ ප‍්‍රකාශයි.

මේ අතර පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද පසුගිය දා විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දැම්මා.

මේ අතර නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ මේ ක‍්‍රියාකාරීත්වය ද ඇතැම් පාර්ශ්වයෙන් ගේ දැඩි ප‍්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.

Recommended For You

About the Author: Editor