මට ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙනසක් නෑ සියලූ වැරදිකරුවන්ට දඬුවම් කරනවා – ජනපති

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක‍්‍රමිකතා පිළිබද එමගින් අනාවරණය කර ඇති සියලූ කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා වංචාව පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය කි‍්‍රයාත්මක කිරීම තම ප‍්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප‍්‍රදානය වෙනුවෙන් අද (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය අමතමිනි.

ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප‍්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියෙකුට ඉඩම් බලපත‍්‍රයක් ලබාදීමේ දී තම සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී තමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ එම සියලූ ආකාරයේ වංචා පිටුදැකීමට බව ද කියා සිටියේය.

වංචාව පිටුදකිමින් රට ගොඩනැගීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද තමාට විරුද්ධ වී සිටින බව පැවසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තමාට වෙනසක් නොමැති අතර සියලූ වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බවත්, අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ වංචාව පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා බවත් කියා සිටියේය.

අපේ‍්‍රල් 21 වන දා සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම පිළිබදව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ අද පරික්ෂණ කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක වන්නේ අදාළ කොමිසන් සභා වාර්තාව අනුව බවයි. මේ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07ක් පවරා තිබෙන අතර, තමා ද එම සිදුවීමට වගඋත්තරකරුවෙක් කර ඇත්තේ තමා විසින්ම මේ රටේ ගොඩනැඟු නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය අපක්ෂපාතිව කටයුතු කර ලබාදෙන ඕනෑම තීන්දුවක් භාරගනීමට තමා සූදානමින් සිටින බව ද කියා සිටියේය.

මෙම සියලූ කටයුතු වෙනුවෙන් තමා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිබෙන අතර, කරුණු නොදැන ඇතැම් පිරිස් තමාට චෝදනා නඟන බවත්, කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ තමා පිළිබද චෝදනා ඇත්නම් ඕනෑම අයෙකුට අධිකරණයට ගොස් ඒ පිළිබද කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිට උසාවි යන රාජ්‍ය නොවන සංවිධාන තමාට විරුද්ධව ගෙන යන ප‍්‍රචාර මෙන්ම රටට එරෙහි ගිවිසුම්වලට විරුද්ධ වූ විට ද ඇතැමුන් එල්ල කරන චෝදනා පිළිබ`දව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම කිසිවක් සැලකිල්ලට නොගන්නා තමාගේ උත්සහය වී ඇත්තේ රටත්, ජනතාවත් ගොඩනැගීම පමණක් බවයි.

Recommended For You

About the Author: Editor