රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග විවාදයකට එන්නේ නැහැ -සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයින් සමග විවාද කළ මම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග විවාද  කිරිමට සුදානම් නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව, එක්තරා කල්ලියක සංගමයක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යධූරයට තමන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බවත්, අමාත්‍යධූර පිරිනැමීමට වෘත්තීය සංගමයකට හැකියාවක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක් වෛද්‍යවරයෙකු වසර 07 ක් පුරා රෝගීන්ට ප්‍රතිකාර නොකර ඇති බව සදහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබදව ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බව ද අනාවරණ කළේය. සෞඛ්‍ය සේවාවට තමන් ඉටු කළ මෙහෙවර අයවැය විවාදයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රසංසා වලින් පැහැදිලි වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Recommended For You

About the Author: Editor