
වත්මන් ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති සියලූම සංවර්ධන වැඩසටහන් සියල්ල සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට සාර්ථකව නිම කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුයේ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්රදානය කිරීම වෙනුවෙන් අද (2) අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
‘‘දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන’’ යන තේමාවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජුනි මාසය සඳහා වන සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, ආණ්ඩුව ඉදිරියට යන ගමන කිසි විටෙක අඩාල නොකරන අතර ඉදිරි මාස කීපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යොදවන බවද සඳහන් කළේය.