අමු කරපිංචා අරගෙන යුරෝපයට යන්න එපා

යුරෝපීය සිට්රස් වගාව රැකගැනීමේ පියවරක් / කරපිංචා හරහා බැක්ටීරියාවක් රැගත් පලිබෝධකයෙක් එන බවට සැකයක්/ වියලා කුඩුකර, අධිශීත කර, උණුවතුර ප්‍රතිකාරකය කර ගෙනයා හැකියි/ නොසලකා කටයුතු කෙරුවොත් තහනම අනෙක් බෝග වලටත් පැතිරේවි

ශාක නිරෝධායන නීතිරීති වලට අනුව කරපිංචා පමණක් නොව කිසිදු වෘක්ෂලතාදියක් ජීවී තත්වයෙන් ගමන් මල්ලක දමාගෙන විදෙස් ගතවීම තහනම්ය. ආරක්ෂණ සහතිකයක් නොමැතිව එසේ රැගෙන යන දෑ එරට බලධාරීන් විසින් රඳවාගෙන පසුව විනාශ කර දැමීම සාමාන්‍ය සිරිතයි. මේ හැරුණු විට අමු කරපිංචා වලට නම් කොහොමත් යුරෝපීය සංගමයේ රටවලට යාම තහනම්ය. මෙරටින් ඒ සඳහා බලපත්‍ර නිකුත් කරන්නේද නැත. අමු කරපිංචා, රිකිලි ආදී සියල්ල මේ තහනමට අයත්වේ. ඇඳුම් බෑගයේ සඟවාගෙන හෝ හොද්දට මුසු කරන්නට කරපිංචා ටිකක් රැගෙන යන්නට මෙරටුන් දරන උත්සාහය අපටම පාරා වළල්ලක් වියහැකි නිසා එසේ නොකරන ලෙස අප ඉල්ලා සිටිමු.

කරපිංචා අයිති වෙන්නේ පැඟිරි කුලයට. ඒ තමයි රුටේසේ කියන කුලය. දෙහි දොඩම් තියෙන්නෙත් ඒ කුලයේ. යුරෝපයේ කහපාට දොඩම් වලට ලෙඩක් හැදෙනවා සිට්‍රස් ග්‍රීනින් (Citrus greening) කියල. මේකට දොඩම් කොලපැහැ වීම කියල කියන්න පුළුවන්. කහපාට දොඩම් ගෙඩි වල පිට ලෙල්ලේ කොටස් වශයෙන් කොලපාට වීමයි මෙතැනදී වෙන්නේ. එතකොට ඒවාහි ආර්ථික අගය පහල බහිනවා. මෙය ඇතිකරන්නේ විශේෂ බැක්ටීරියා වර්ගයක්. ඒ තමයි කැන්ඩිඩේටස් ලිබරිබැක්ටර්. මෙය විශේෂ බැක්ටීරියාවක් කිව්වේ අනිත් බැක්ටීරියා වගේ නෙවෙයි මෙය කෘතිමව වගාකරන්න බැහැ. එම බැක්ටීරියාව දොඩම් ගස් වෙත අරගෙන එන්නේ කුඩා සතෙක් මගින්. ඒ සත්වයා තම විකල්ප වාසස්ථානයක් ලෙස කරපිංචා කොළ මත ඉන්නත් පුළුවන්. එහෙම හිතල තමයි කරපිංචා ගැන මෙවැනි තීරණයක් අරගෙන තියෙන්නේ.”

යුරෝපීයයන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ගේ දොඩම් ගෙඩි, පත්‍ර හා රිකිලි වල කොළ හෝ කහ පැහැ වර්ණ විපර්යාස ඇතිකරන Candidatus liberibacter නම් බැක්ටීරියාව, කරපිංචා හරහා තම දේශයට ඇතුල්වේද යන සැකයයි.

දොඩම් කොලපැහැ වීමේ රෝගය මුලින්ම වාර්තාවේ ඇත්තේ 1943 දී චීනයෙනි. 2005 වසරේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී වාර්තා වුවාට පසු වසර 4 ක් ඇතුලත එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්තයන් කරා මෙය පැතිර ගොස් තිබේ. දොඩම් ගස් ලෙඩකරන කොළ පැහැවීමේ රෝගයට හේතුවන ඉහත කී බැක්ටීරියාව පතුරුවාලීමට වාහකයෙකුද සිටී. ඒ පියාසර හැකියාවක් ඇති මකුනෙකු වැනි ඉතා කුඩා සතෙකි. ස්ථිර සිංහල යෙදුමක්වත් නැති මොවුන් හඳුන්වන්නේ සයිලිඩ් (Psyllid) වශයෙන්ය. කීඩෑවා, පුරුක් පනුවා, ඉල් මැස්සා ආදී සතුන් ගැන  නිතර දෙවේලේ අසා පුරුදු ලාංකිකයින් “සයිලිඩ කෘමියා” ගැන මේ අසන්නේ මුල් වරට විය හැකිය.

විදේශිකයින් හොඳටම බිය වී ඇත්තේ මේ “ආසියානු සිට්රස් සයිලිඩ්” සේ පොදුවේ හඳුන්වන, ඩයිෆෝනියා සිට්රයි නමැති මේ සත්වයාටය. ආසියාතික රටවල් අතරින් ජපානය හැර අන් සියලු දේශයන්හි මෙම වාහක “මකුණා” සිටින බව දැනගත් බටහිර වාසීන් තම ආර්ථිකයේ මුදුන් ලීයක් බඳු වූ දොඩම් වගාව රැක ගැන්මට තම උපරිම ශක්තිය යෙදවීමට 2014 දී කටයුතු කෙරුවේ එතෙක් පැවති ශාක නිරෝධායන නීති රීති පවා වෙනස් කරමිනි. සයිලඩ කෘමීන් නම් මෙම සත්ව විශේෂය ශාක ලෝකයේ ආදිවාසීන් පිරිසක් යයි හැඳින්වූවාට වරදක් නැත. ඔවුහු ඒ තරමටම පෞරාණික, මකුණු පරපුරට අයත් ජීවී කොට්ඨාශයකි. හරියටම කියනවානම් ඔවුන් මෙලොව බිහිවී ඇත්තේ සපුෂ්පක ශාක බිහිවීමටත් පෙර කලෙකදී බව පොසිල වාර්තා පරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ.

හොර රහසේ හෝ සඟවාගෙන කරපිංචා ගෙනගොස් යුරෝපීය රටකදී හසුවුවහොත් ඔවුන් එය රැගෙන විනාශ කර දමයි. හානිය එතනින් නතර නොවේ. ශ්‍රී ලංකාවට අනනුකූලතා වාර්තාව නම් ලියවිල්ලක්ද එවනු ලැබේ. මෙය රටට කළු පැල්ලමකි. අනනුකූලතා වාර්තා වැඩි වැඩියෙන් ලැබීම යනු යුරෝපයට අපනයන කෙරෙන එළවලු, පලතුරු වැනි අනෙකුත් ද්‍රව්‍ය කෙරෙහිද සැකමුසු බැල්ම හෙලන්නට ඔවුන් පුරුදු වීමකි. මෙය රටකට අවාසිදායක තත්වයක් වේ. ඒ නිසා කරපිංචා කරගසාගෙන යුරෝපයට නොගොස් රටට හිමිව ඇති කීර්ති නාමය පලුදුකර නොගැනීම ලාංකික පුරවැසි වගකීමක් බව ජනතාව මතක තබාගතයුතු බව සඳහන් කරන්නේ කටුනායක ශාක නිරෝධායන සේවයේ ප්‍රධානී, අතිරේක අධ්‍යක්‍ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාය.

ගෙනයන්නට අත්‍යවශ්‍යම නම් එයටද අවස්ථාවක් තිබේ. උණුවතුර ප්‍රතිකාරකය කරන ලද (Blanching), අධිශීත කරනලද හෝ වියලා කුඩු කරනලද කරපිංචා රැගෙනයාමේ තහනමක් නැත. ඒ හරහා බැක්ටීරියාව පැමිණෙන්නේ නැතැයි යුරෝපීයයන් විශ්වාස කරනා බැවිනි.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor