ඉන්දියාවට සහ ජපානයට වැසි දෙයියෝ පීඩා දෙති

මෝසම් වර්ෂාව සක‍්‍රීය වීමත් සමග ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්වූ බවයි එම වාර්තා සඳහන් කරන්නේ. මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේල්ලක් බිදීයාම හේතුවෙන් ගම්මාන හතක් ජලයෙන් යටවී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකු අතුරුදන්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය කියනවා. ඉදිරි පැය 12 තුළද තද වැසි ඇතිවිය හැකි බව ඉන්දීය කාලගුණ අංශ නිකුත් කළ වාර්තාවල සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

ජපානයටත් ගංවතුර තර්ජන

මේ අතර ජපානයට ද අධික වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ජල ගැලීම් අවදානම සහ නායයාමේ අනතුරු හේතුවෙන් කගොෂිමා හි ලක්ෂ 06කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පිටත් කර හැර තිබෙන බවයි ජපන් මාධ්‍ය වාර්තා කියන්නේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී ද ජපානයට බලපෑ ජල ගැලීමෙන් 200කට ආසන්න පිරිසක් මිය ගිය බව ජපන් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor