ජනාධිපතිධූර කාලය දීර්ඝ කර ගැනීමේ උත්සහය සදාචාර විරෝධියි -ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසමින් බලයට පැමිණි මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කරගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසීමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ශී‍්‍රි ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

අද (4)පෙරවරුවේ කොළඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ එතුමා දිව්රුම් දුන් 2015 ජනවාරි 9 වැනිදා සිටද එසේ නොමැති නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්මත වූ 2015 මැයි 19 වැනිදා සිටද යන්න සම්බන්ධයෙන් ලබන සතියේ අධිකරණයේ මතය විමසීමේ සූදානමක් ඇතැයි ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

මීට පෙරද ජනාධිපතිවරයා මෙලෙස අධිකරණ මත විමසුමක් සිදු කරනු ලැබූ අතර දිගින් දිගටම තමන් ගේ ධුරකාලය දීර්ඝ කරගැනීමේ ප‍්‍රයත්නයක නිරත වෙමින් සිටියි.

නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ජනතාව හමුවේ දිවුරුම් දී බලයට පැමිනි මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ධූරකාලය දිනකින් හෝ දීර්ඝ කරගැනීමට උත්සහ දැරීම කනගාටුවට කරුණක් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාත්, තමාට නායකත්වයේ රැඳී සිටීම සඳහා ජනාධිපතිවරයාත් ජනාධිපතිවරණය වෙනුවට මහ මැතිවරණයකට යාමේ ප‍්‍රයත්නයක නිරත වෙන බවට ඒ මහතා චෝදනා කරයි.
කෙසේවෙතත් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ එන ඕනෑම මැතිවරණයක් ජයග‍්‍රහනය කිරීමට සූදානම් බව මන්ත‍්‍රි වරයා අවධාරණය කර සිටියි.

Recommended For You

About the Author: Editor