ජූනි 04 දාට ප‍්‍රසාද ලකුණු සටහන මෙන්න

ලෝක කුසලාන පළමු වටයේ අවසන් තරග කිහිපය මේ වන විට පැවැත්වෙමින් තිබෙන අතර ඊයේ (3) සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 119ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගැනීම සමග අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ගැන පහසු අදහසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය මේ වන විට තරග 09 බැගින් ක‍්‍රීඩා කර ඇති අතර සෙසු රටවල්වලට තව එක් තරගය බැගින් තිබෙනව. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය (42) මේ වන විට පැවැත් වෙමින් තිබෙනවා. එම තරගයේ ප‍්‍රතිඵල මගින් අවසන් පූර්ව වටයට කිසිදු බලපෑමක් නොවන්නේ මෙම කණ්ඩායම් දෙක ප‍්‍රසාද ලකුණු සටහනේ අවසානය 9,10 ස්ථාන නියෝජනය කරන නිසයි.

එහෙත් මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ 05 සහ 07 වන ස්ථානවල සිටින පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය හෙට (5) ලීඞ්ස් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගයෙන් යම් හෙයකින් පාකිස්ථානය ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ යන අතර එය මේ වන විට ප‍්‍රසාද ලකුණු 11ක් ලබා ගෙන 04 වන ස්ථානයේ පසුවන නවසීලන්තයට ප‍්‍රබල තර්ජනයක් වනු ඇති. ඇතැම් විට අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ පාකිස්ථානය ද නවසීලන්තය ද යන්න දළ ලකුණු වේගය අනුව තීරණය කිරීමට සිදුවේවි. මේ වන විට නවසීලන්තයේ දළ ලකුණු වේගය +0.175ක් වන අතර පාකිස්ථානයේ දළ ලකුණු වේගය – 0.792ක් වෙනවා. ඒ අනුව හෙට පාකිස්ථානය ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන අඩු ලකුණු සංඛ්‍යාවකට බංග්ලාදේශය පරාජය කිරීමට සිදුවීම අවසන් පූර්ව වටයට පිවිසීමට අනිවාර්ය කොන්දේසියක් වනු ඇති. එහෙත් මේ වන විට බංග්ලාදේශය දක්වා තිබෙන දක්ෂතා අනුව පාකිස්ථානයට එය පහසු නොවන බව පැහැදිලියි.

මෙම තරගයෙන් යම් ආකාරයකින් බංග්ලාදේශය ජයග‍්‍රහණය කළහොත් අවසන් පූර්ව වටයට යාමට ඇති පාකිස්ථාන සිහින බිඳී යනු ඇති අතර මේ වන විට 06 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවට 07 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය හැකියි.

මේ වන විට ප‍්‍රසාද ලකුණු 13ක් සමග ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර 06 වැනිදා ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ඉන්දියාවට එතරම් බලපෑමක් නොකළත් එය ජයග‍්‍රහණය කළහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට යාමට අවස්ථාව උදාකරනු ඇති. යම් හෙයකින් මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.

ඒ සමග ජූලි 06 වැනිදා ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව සමග තරගයත් පැවැත්වෙනවා. මේ වන විට අවාසනාවන්තම කණ්ඩායම බවට පත්ව සිටින දකුණු අප‍්‍රිකාවට යම් හෙයකින් මේ තරගය ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණොත් ඉදිරියට ඒමට හැකියාව තිබෙනවා. ඒත් ඔස්ටේ‍්‍රලියාවට එය ජයග‍්‍රහණය කළහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ තම ප‍්‍රථම ස්ථානය (ඉන්දියාව ශ‍්‍රී ලංකාව පරාජය කළහොත්) තව දුරටත් තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව ඉදිරියට පැවැත්වෙන තරග කිහිපය අවසන් පූර්ව වටයට ප‍්‍රබල බලපෑමක් නොකළත් ඒ ඒ රටවල ගරුත්වය රැුක ගැනීමට ප‍්‍රබල පිටිවහලක් වනු ඇති බවයි පෙනී යන්නේ.

Recommended For You

About the Author: Editor