දුම්රිය වැඩ වර්ජනය අවසන්: මගී කෝපය නිමක් නෑ

දුම්රිය වෘත්තීය සමිති 85කගේ පමණ සහභාගීත්වයෙන් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වූ දුම්රිය වැඩවර්ජනය අද පස්වරු 4.00ට පමණ අවසන් කළ බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.ටී විතානගේ මහතා lankaepress සමග පැවසුවා.

ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැය තුනකට අධික කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙ තීන්දුව ගත් බවයි විතානගේ මහතා සඳහන් කළේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතාට බාධාවකින් තොරව සිය ධුරයේ කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීමට සහ මතභේදයට හේතු වූ විනය පරීක්ෂණය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබා දීමට අද පැවැති සාකච්ඡුාවේදී ප්‍රවාහන බලධාරීන් එකඟ වූ බවයි විතානගේ මහතා පැවසුවේ.

අද ක‍්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි සේ පීඩාවට පත් දුම්රිය මගීන් අවධාරණය කරන්නේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් කළ පසු දුම්රිය සේවකයින්ගේ අත්තනෝමතික වර්ජන අවසන් වනු ඇති බව තමන් විශ්වාස කළ නමුත් මේ වර්ජනය සමග එම විශ්වාසය බිඳ වැටුණු බවයි. පවතින නීති ප‍්‍රමාණවත් නැතිනම් නව නීති සම්පාදනය කර හෝ මෙවැනි අත්තනෝමතික වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට වැට බැඳිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

‘‘වෘත්තීය සමිති කියන මේ පිරිස සෙල්ලම් කරන්නේ දුම්රිය මගීන් ලක්ෂ 03කගේ කාලය සහ සල්ලි එක්ක. මේ සීමිත පිරිසට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කාලකණ්නි කරන්න තියෙන අයිතිය මොකක්ද ? ඇයි ආණ්ඩුවට බැරි මේ අත්තනෝමතිකත්වයට එරෙහිව පියවර ගන්න’’ යැයි දෛනිකව කාර්යාලයීය දුම්රිය භාවිත කරන රජයේ නිලධාරියෙක් ලංකා ඊ ප්‍රෙස් සමග පැවසුවා.

‘‘මේක නතර කළ යුතුමයි. එක්කෝ කාර්යල දුම්රිය ප‍්‍රමාද වෙනවා. අපි නියමිත වේලාවට දුම්රිය පොළට ආවාමයි කියන්නේ දුම්රිය ප‍්‍රමාදයි කියලා. අපි කරන්නේ රස්සාවක්. අපිට හිතුණ හිතුණ වේලාවට වැඩට යන්න බැහැ. ලෙඩකට දුකකට බේතක් ගන්න යන්න බැහැ. නියමිත වේලාවට කාර්යාලයීය දුම්රිය පවා හරියට ධාවනය කර ගන්න බැරි තරම් අකාර්යක්ෂම දුම්රිය සේවය කාර්යක්ෂමව කරන්නේ වැඩවර්ජන කරන එක විතරයි. මේක තව දුරටත් ඉවසනවාද කියලා ජනතාවම කල්පනා කරන්න ඕනෑ’’ පෞද්ගලික බැංකුවක නිලධාරිනියක් තමන් මුහුණ දෙන තත්ත්වය ගැන එසේ සඳහන් කළාය.

‘‘මේක ඇත්තටම මාෆියාවක්. එක මිනිහෙක් නිසා අපි ලක්ෂ තුනක් කට්ට කන්න ඕනෑ. මේකට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්න බැහැ. මේක වහාම නතර කළ යුතුයි’’ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් දුම්රිය වැඩවර්ජන දකින්නේ එලෙසයි.

Recommended For You

About the Author: Editor