පලාලි ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම හෙට

යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම හෙට (05) සිට ආරම්භ වෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකිනි.

උත්සවය හෙට උදෑසන 08.00ට පලාලි ගුවන්තොටුපොළෙහි පැවැත්වෙයි. අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙයි. ඒ ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, ‍කොචිං, බැංග්ලෝර් යනාදි ගමනාන්ත දක්වා වෙයි.

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250කි. ඒ රජයෙන් රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙනි. ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ දියත් කෙරේ.

එහි පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීම සිදු කෙරේ. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier @ – 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වෙයි. ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවනය පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ඇතිරීමයි.

එය සම්පූර්ණ කිරීමෙන් පසුව පලාලි ගුවන්තොටුපොළින් වර්ග කිලෝමීටර් 1800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන් යානා  හැසිරීමට අපේක්ෂා කරයි. ව්‍යාපෘතියේ අවසන් අදියර හෙවත් තුන්වැනි අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර ප්‍රමාණය වූ කිලෝමීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදු කරයි. එම තුන්වැනි අදියර සම්පූර්ණ කිරීමෙන් පසුව AL – 320, AL – 321 වැනි ගුවන් යානා හැසිරීමේ හැකියාව පලාලි ගුවන්තොටුපොළ අත්පත් කර ගනී. 

Recommended For You

About the Author: Editor