මධූෂ් ඩුබායි සිට මෙහෙය වූ බවට සැක අපරාධ 04ක් ගැන CID පරීක්ෂණ

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් නැමැත්තා විසින් ඩුබායි හි සිට මෙහෙයවා කළ බවට සැකකරන අපරාධ හතරක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (4) පොලිස් මූලස්ථානයේ පැවැති පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ, 2017.2.27 දින කළුතර එනතමඩල ප‍්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු වන සමයං ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීම, තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීම, 2017.5.09 දින පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පොලිස් නිලධාරියකු ඇතුළු දෙදෙනකු මියයාම, තවත් සිව් දෙනතුට තුවාල සිදුකිරීම, 2018.3.06 දින කැලණිමුල්ලේ කොස්මල්ලි නැමැත්තා පැහැරගෙන ගොස් අගුණකොළපැලැස්සේ දී වෙඩි තබා ඝාතනය කර ගෙළ අලූත්කඬේ ප‍්‍රදේශයට රැගෙන ඒම සහ 2018.11.08 දින ඇරව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් දියමන්තියක් කොල්ලකෑම යන අපරාධ සම්බන්ධයෙන් මධුෂ්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සැකකාර මාකදුරේ මධුෂ් නැමැත්තා විසින් ඩුබායි රටේ සිට මෙම අපරාධ මෙහෙයවා ඇති බවත් ඔහු මේ සඳහා භාවිතා කළ ජංගම දුරකතන අංක, අපරාධ සිදුකළ පුද්ගලයන් භාවිතා කළ දුරකතන අංක හා වින්දිතයන්ගේ දුරකතන අංක සම්බන්ධයෙන් විශ්ලේෂණ සිදුකරමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සැකකරුගෙන් මෙතෙක් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වල දී අපරාධ සදහා භාවිතා කළ බවට සැකකරන පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවියක් සොයාගත් බවද මෙම ගිනි අවි වැලිවේරිය හා මීගමුව දළුපොත යන ප‍්‍රදේශවලින් සොයාගන ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor