නිශ්ශංක සේනාපති අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති නියෝග කරන විටත් ඔහු රටින් පළා ගොස් දිනක් ගත වෙලා

ඇවන්ට් ගාර්ඞ් සිදුවීමට අදාළව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ ඊයේ (4) රටින් පළා ගොස් සිටි බව වාර්තා වේ.

අද ඔවුන් දෙදෙනා ඇතුළු 08 දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කරන විටත් ප‍්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරු සිංගප්පූරුවට පිටත්ව ගොස් සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ගෙන ඇත.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇති නීතිපතිවරයා ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇතුළු 8 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු නීතීමය බාධාවක් නොමැති බවද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

නිශ්ශංක සේනාධිපති මහතාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ‍්‍රාමික කොමදොරු විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්ද්‍ර, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න සහ ‘‘රක්නා ලංකා’’ හිටපු සභාපති වික්ටර් සමරවීර නමැත්තන්ය.

ඉහත සැකකරුවන් සියලූ දෙනාම සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ කටයුතු කර ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

මේ අතර අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ ඊයේ (4) පෙරවරුවේ සිංගප්පුරැව බලා පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇති අතර ඒ බව නීතීපතිවරයාට වාර්තා කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසන අවස්ථාවේදී ඔවුන් රටින් පිටව ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් වැඩිදුරටත් හෙළි කරගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳව ලබන සඳුදාට (8) පෙර තමාට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කළේය.

Recommended For You

About the Author: Editor