දේශපාලන අවස්ථාවාදීන්ගේ එරෙහිවීමේ ඉතිහාසය

නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම

‘‘මේ හාදයෝ ටික ඒකාලේ හිටියනම් ලංකාවට එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳෙන්න වෙන්නෙත් නෑ’’
‘‘ආර්.ජී. සේනානායකටත් වෙන්නේ චීනෙත් එක්ක අත්සන් කළ රබර් – සහල් ගිවිසුම හකුළ ගන්න’’

මේ ප‍්‍රකාශ දෙකම කිව්වේ ‘‘සෝෆා status of forces agreement (SOFA) ගිවිසුම ගැන මධ්‍යස්ථ අදහසක් ලබා ගන්න කතා කළ අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති කිහිප දෙනෙක්ගෙන් එක් අයෙක්.

‘‘ඇමෙරිකාවේ ග‍්‍රීන් කාඞ් වීසා එක ගන්න … වුණත් දෙන්න කැමැති මිනිස්සු ලක්ෂ ගාණක් ඉන්න රටක මේ වගේ කතා ඇහෙන කොට අපිට නම් හිතෙන්නේ මුං කොච්චර කුහකද කියල තමයි’’ මේ කතාව කියන්නේ උසස් අධ්‍යාපනයට හෝ වෙන ඕනෑම ක‍්‍රමයකින් ලංකාවේ දේශසීමාව පැන ගන්න සිහින දකින තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්.

අවසාන කතාව, මට මතක විදිහට මීට අවුරුදු 20කට විතර ඉස්සර කිව්වේ අපි කැම්පස් යන කාලේ බොහොම ජනප‍්‍රිය ‘‘එක්ස් කණ්ඩායමේ’’ නායකයෙක් බවයි මතකයේ තිබෙන්නේ.
ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් ශ‍්‍රී ලංකාවට කරන මැදිහත්වීම් ගැන බරපතළ සංවාදයක් තිබුණ ඒ යුගයේ (ඇතැමුන් කියන්නේ මේ සංවාදය 1940 දශකයේ පමණ සිට තිබෙන බවයි) ඔහු කිව්වේ, ‘‘ඔය ඇමෙරිකන්කාරයෝ කොළඹ වරායට නැවක් අරං ඇවිත් ‘‘ ඕනම තරමක් වරෙල්ලා, උඹලව ඇමෙරිකාවට බාර ගන්නවා කිව්වොත් ඔය දේශමාමකයෝ, ජාතිමාමකයෝ කීදෙනෙක් ඉතුරු වෙයිද මේ රටේ ?’’ කියලයි.

එරෙහි වීම පුරුද්ද ? අවස්ථාවාදීකමද ?

කතාව ‘‘සෝෆා’’ ගිවිසුමට පමණක් සීමා නොකර පසුගිය දශක කිහිපය පුරාම රජයන් / ආණ්ඩුව විසින් යම් යම් තීරණාත්මක අවස්ථාවලදී ඒවා කළමනාකරණය කර ගැනීමට හෝ ආර්ථික – දේශපාලන වශයෙන් මූලෝපායික තීන්දු ලෙස විවිධ රාජ්‍යයන් සමග ජාත්‍යන්තර ගිවිසුම් සේම අභ්‍යන්තර වශයෙන් ද විවිධ පාර්ශ්වයන් සමග ගිවිසුම් ඇතිකර ගැනීමට පියවර ගත්තා. ඒත් අපි ඒ සෑම අවස්ථාවකම දැක්ක ප‍්‍රකට ලක්ෂණයක් තමයි ඒ ගිවිසුම්වලට විපක්ෂය සහ විපක්ෂ බලවේග, බලපෑම් කණ්ඩායම් (වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය ආදී) දැක් වූ මාරාන්තික විරෝධය.

මේ සඳහා ප‍්‍රකට උදාහරණ රැුසක් තිබෙනවා. එයින් තීරණාත්මක සහ ජාතික වශයෙන් ව්‍යසනකාරී ප‍්‍රතිඵල ලබා දුන්නේ එවකට ළදරු, නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමේ තිබූ මෙරට ජාතික ගැටලූව නැතහොත් උතුරේ දමිළ ජනතාවගේ අනන්‍යතාව පිළිගැනීම පිළිබඳ ගැටලූවට විසඳුමක් ලෙස එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක (1957) මහතා සහ ශ‍්‍රී ලංකා පෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා අතර අත්සන් තැබීමට සූදානම් වූ ගිවිසුම (බණ්ඩාරනායක -වෙල්වනායගම් ගිවිසුම)

එදා මේ ගිවිසුම මගින් බණ්ඩාරනායක රජය සහ පෙඩරල් පක්ෂය අතර ජාතික ගැටලූවට තිරසර විසඳුමක් ලෙස යෝජනා වූ ‘‘රටසභා’’ ක‍්‍රමය විපක්ෂ බලවේග, විශේෂයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා දැක්කේ රට පවා දෙන මහා පාපකර්මයක් ලෙසයි. ඔවුන් එදා මුළු වැර යෙදා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමට කටයුතු කළා. අවසානයේ එකී ගිවිසුම ඉරා දමමින් බණ්ඩාරනායක අනාවැකියක් කිව්වා. ඒ මේ ගිවිසුමට එරෙහි වීමේ පාපය ඉතිහාසය විසින්ම තීන්දු කරනු ඇති’’ කියලයි. අදත් ලංකාව ජාතියක් වශයෙන් නිමක් නැති ජනවාර්ගික අර්බුදයක ගිලී සිටින්නේ 1957 දී නියපොත්තෙන් කඩන්න පුළුවන්කම තිබුණ දේ කරන්න ජාතිවාදී සහ අවස්ථාවාදී බලවේග හා කල්ලි ඉඩ නොදුන් නිසයි.

මේ තත්ත්වය යළි එජාප නායකත්වයෙන් බිහි වූ (1965-70) ඩඞ්ලි සේනානායක රජය යටතේ සිදු වුණා. එදා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව මහනුවරට පෙළපාලි ගිය එජායම යළි චෙල්වනායගම් මහතා සමග ජාතික ගැටලූවට විසඳුම් සොයන්න ගිවිසුම්ගත වෙන කොට, එදා ඒ හා සමානම ගිවිසුමක් ගැසීමට ගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ බලවේග ‘‘ඩඞ්ලිගේ බඬේ මසල වඬේ’’ කියමින් රට ගිනි තිබ්බා.

ඔබට අවශ්‍ය නම් ඉන්දු ලංකා ගිවිසුම (1987, සටන් විරාම ගිවිසුම (2002 දක්වා ජාතික වශයෙන් අතිෂයින් සංවේදී හා තීරණාත්මක සෑම අවස්ථාවකදීම මේ දේශපාලන අවස්ථාවාදය සහ ආගමික අන්තවාදය ඉතාම නිර්ලජ්ජිත ලෙස එකී ප‍්‍රයත්නයන්ට එරෙහි වෙමින් ඒවා කඩාකප්පල් කරමින් රට අර්බුදයට යොමු කළ ආකාරය පහසුවෙන් හඳුනා ගත හැකියි. ඇතැම් දේශපාලන විචාරකයින් මේ අවස්ථාවාදය හා අන්තවාදය ‘‘එරෙහි වීමේ ඉතිහාසයක්’’ ලෙස දකින්නේ හේතු රහිතව නොවන බව අපට පහසුවෙන් වටහා ගත හැකියි.

එම නිසා ඕනෑම රජයක් විසින්, ආණ්ඩුකරණයේදී මුහුණ දෙන (ආණ්ඩුවක් ආණ්ඩුකරණයේදී මුහුණ දෙන සැබෑ අභියෝග මොනවාදැයි පාලකයින් මිස පොදුජනතාව වටහා ගෙන ඇතැයි සිතිය නොහැකියි) සැබෑ සහ යථාර්ථවාදී අභියෝග ජය ගැනීම හෝ කළමනාකරණය කර ගැනීම සඳහා ගන්නා බොහෝ රාජ්‍ය තාන්ත‍්‍රික හෝ මූලෝපායික ප‍්‍රවේශයන් ඊනියා පොදුජන හෝ විපක්ෂයේ දෘෂ්ටිකෝණයෙන් විග‍්‍රහ කිරීම කොතරම් බොළඳ දැයි වටහා ගත යුතුයි. ඒ යථාර්ථවාදී තත්ත්වයම නිසා තමයි 1957 දී බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුමට මාරාන්තික ලෙස එරෙහි වූ එක්සත් ජාතික පක්ෂය තමන්ට බලය ලැබුණ වහාම ඒ හා සමාන ගිවිසුමකට යොමු වෙන්නේ.

ජාත්‍යන්තරය සමග ඇති බද්ද වෛරය

‘‘ශ‍්‍රී ලංකාවේ අති බහුතරයක් මිනිස්සු ක‍්‍රියාවෙන් අන්ත දක්ෂිණාංශික වුණාට ඔළුවෙන් නම් අන්ත වාමාංශිකයි’’ මේ ප‍්‍රකාශයත් බැලූ බැල්මට අවුල් වාගේ. ඒත් ලංකාවේ මිනිස්සු හිතන විදිහයි – වැඩ කරන විදිහයි අතර තිබෙන දැවැන්ත පරතරය දකින කොට කතාව ඇත්ත බව පේනවා. මෙම ලිපියේ තෙවැනියට සඳහන් කළ ‘‘ග‍්‍රීන් කාඞ් වීසා’’ කතාව වාගේම ඇමෙරිකන් නැව ගැන කතාවත් වැදගත් වන්නේ මේ තත්ත්වය තුළයි. එය අවශ්‍ය නම් ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීම වගේම 1952දී ආර්. ජී. සේනානායක මහතා විසින් චීනය සමග ඇතිකර ගත් සුප‍්‍රකට ‘‘රබර් – සහල් ගිවිසුමටත්’’ අදාළ කරගත හැකියි.

වර්තමානයේදී යම්කිසි හාස්‍යජනක තත්ත්වයක් ඇති වුවත් ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට අත්සන් තැබීම ඇතුළු ගිවිසුම්ගත වීම් අද වාගේ කාලෙක කළ හැකිවේදැයි මොහොතක සිතා බැලූවහොත් ඉතාම පහසුවෙන් වැටහී යන්නේ ‘‘එය කළ නොහැකි දෙයක් බවයි. ඊට හේතුව වන්නේ එදා එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා විට ලංකාවේ ස්වෛරිභාවය සම්බන්ධයෙන් යම් කිසි කැප කිරීමක් කිරීම අනිවාර්ය දෙයක් වුණා. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය මෙන්ම පසුව ශ‍්‍රී ලංකාව විසින් අත්සන් තැබූ (දැන් හොඳහැටි අවභාවිත වන) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය ආදිය ගත හැකියි.

අද වගේ අන්තවාදීන් සහ අවස්ථාවාදීන් කරළියේ පෙරළි කරන, ජනමතය හසුරවන යුගයක, ‘‘මානව හිමිකම් කන්න දැයි’’ අසන යුගයක මේ ගිවිසුම අත්සන් කිරීමට සිදු වුණා නම් එය කිසිදා කළ නොහැකි දෙයක් වන බවයි පැහැදිලිව පෙනී යන්නේ.

ඇත්ත තත්ත්වය ගතහොත් යළිත් අවධාරණය කරන්නේ නම් රබර් – සහල් ගිවිසුමටත් අත්වනු ඇත්තේ අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමට පමණයි.

දෙවැනි කාරණය ගත හොත් ලංකාවේ අති බහුතරයක් දශක ගණනාවක සිට අති සංකීර්ණ ඇමෙරිකන් / බටහිර ෆෝබියාවකින් / භීතියකින් පෙළෙන බවක් ප‍්‍රසිද්ධ කරුණක්. ඒ තත්ත්වය 1930 දශකයේ ලංකාවේ මුලින්ම පොදුජනතාව සමග දේශපාලනය කළ ඇමෙරිකන් /ධනපති විරෝධී වාමාංශිකයින් විසින් රෝපණය කළ බීජයක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ඔවුන් එදා වාමාංශික කඳවුර සමග පැවැති බැඳීම හෝ යැපීම මත පදනම්ව ධනපති, බටහිර විරෝධී මතයක් සමාජය තුළ රෝපණය කළ අතර පසුව බිහි වූ බොහෝ සිංහල භාෂීය ජනමාධ්‍ය, ලේඛන කලාව තුළ ද මේ වාමාංශික නැඹුරුව මුල්බැස ගත්තා. එහි බලපෑම තුළ අදත් ලංකාවේ ග‍්‍රාමීය සහ අඩු ආදායම්ලාභීන් අති බහුතරක් දැඩි ඇමෙරිකන් විරෝධී මනෝභාවයකින් පෙළෙනවා.

ඊනියා දේශපේ‍්‍රමයේ ඇත්ත කතාව

ඒත් ප‍්‍රශ්නය වන්නේ බොහෝ විවේචකයින් කියන ආකාරයට මේ කිසිම වාමාංශිකයෙක් රැුකියාව, අධ්‍යාපනය හෝ පදිංචිය සඳහා පමණක් නොවෙයි හදිසියේ ප‍්‍රතිකාර ලබාගැනීම සඳහාවත් ඔවුන් විසින් ඔජවඩන රුසියාව, චීනය තෝරා නොගැනීමයි. ලංකාවේ අන්ත වාමවාදීන්ගේ දරුවන් ඇතුළු පවුල්වල රොත්ත බුරුත්තම වර්තමානයේ පදිංචිව සිටින්නේ හෝ අධ්‍යාපනය ලබන්නේ චීනයේ ද නැතිනම් ඇමෙරිකාවේ හෝ බටහිර යුරෝපයේ ද යන්න සොයා බැලීම මගින් පමණක් මේ ප‍්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සපයා ගත හැකියි.

මේ තත්ත්වය අති සරල ලෙස විග‍්‍රහ කළහොත්, එදා සිට ඇමෙරිකන් / බටහිර විරෝධී දේශපාලනයේ යෙදුණු පිරිස තම ක්ෂේමභූමිය කරගෙන ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බව හඳුනා ගත හැකියි. එක් දේශපාලන විචාරකයෙක් මේ තත්ත්වය කැටි කළේ ‘‘ඔය කෑ ගහන හැමෝටම තියෙන්නේ ග‍්‍රීන් කාඞ් එක ගන්න බැරි වුණ දුක’’ කියලයි.

එනිසා අපට පහසුවෙන් පැමිණිය හැකි නිගමනය වන්නේ එදා මෙන් අදද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර විරෝධයේ නියමුවන් ඒ කතා කියමින් කරන්නේ හුදු දේශපාලනයක් පමණක් බවයි. උදාහරණයක් ලෙස අද ‘සෝෆා’ ගිවිසුමට මාරාන්තිව සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මහතාගේ පවුලේ සියලූ දෙනා ඇමෙරිකන් ගැති ඔස්ටේ‍්‍රලියානු පුරවැසියන් මිස මේ පිවිතුරු හෙළයේ පුරවැසියන් නොවන බව අප විසින් වටහා ගත යුතුයි. මෙය ඔවුන්ගේ අනාගත නායක ගෝඨාභය රාජපක්ෂගේ සිට බැසිල් රාජපක්ෂ දක්වා ද ඒ ආකාරයෙන්ම අදාළයි.
සෝෆා ගැන කතාවට පෙර අපට අවශ්‍ය නම් මේ දේශපාලන අවස්ථාවාදීන්ගේ ගොදුරු බවට පත් තවත් ගිවිසුම් කිහිපයක් ගැන ද අවධානය යොමු කළ යුතුයි. ඒ අතර ඉන්දියාව සහ සිංගප්පූරුව සමග අත්සන් තිබූ ගිවිසුම් ප‍්‍රධානයි.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යැයි යන පදනමින් වත්මන් ආණ්ඩුව මෙම ගිවිසුම් ද්විත්වය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් මේ දක්වා ඒවා නියමිත පරිදි ක‍්‍රියාත්මක මට්ටමට ගෙන ඒවට දේශපාලන අවස්ථාවාදීන්ගේ බලපෑම හමුවේ රජය අසමත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවට අපේක්ෂිත ආර්ථික සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වූ බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය පුරාම අඛණ්ඩව අවධාරණය කළේ.

සෝෆා විරෝධය කුමක් සඳහාද ?

මේ වන විට දේශපාලන කරළිය තුළ පුවත් මවමින් සිටින ‘‘සෝෆා’’ ගිවිසුමට මූලික වශයෙන් එරෙහි වන්නේ මෙම ලිපියේ මීට ඉහතින් සඳහන් කළ පවුල් පිටින් ඇමෙරිකානු හෝ සුදු ජාතික රටවල පුරවැසිභාවය ලබා ගෙන ඔවුන්ගේ යැපීම සඳහා මෙරට සිට දේශපාලනය කරන ඊනියා බටහිර විරෝධීන් බව පළමුවෙන්ම සිහිපත් කළ යුතුයි. අනෙක් කරුණ වන්නේ ආණ්ඩුව පුනපුනා තර්කානුකූලව ප‍්‍රකාශ කරන,

x මෙම ගිවිසුමට මූලාරම්භය ලබා දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
x මෙම ගිවිසුම මගින් ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු යුද හමුදා කඳවුරු පිහිටුවීමක් සිදුවන්නේ නැත.

යන්න ප‍්‍රධාන කාරණා ද්විත්වය හෝ නොසලකා ජනතාවට වඩාත් සංවේදී විය හැකි ‘‘ඇමෙරිකන් යුද කඳවුරු’’ ගැන දිගින් දිගටම ප‍්‍රවාද කිීමයි.

සෝෆා විරෝධීන් ඒකපාර්ශ්වීය අත්පත් කරගෙන ඇති පුළුල් මාධ්‍ය අවකාශය තුළ මෙම ගිවිසුමට නායකත්වය දෙන සහ සැබෑ ලෙසම ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික හා ජාත්‍යන්තර ගැටලූ ගැන දන්නා කියන (ආණ්ඩුව තුළ ඇතැම් ප‍්‍රබල අමාත්‍යාංශය දැරුවත් ඇතැම් ඇමැතිවරුන්ට ආර්ථික හෝ ජාත්‍යන්තර දේශපාලන අභියෝග, සංකීර්ණතා අදාළම නැති බවක් පෙනේ) ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශ හෝ පැහැදිලි කිරීම්වලට නිසි අවධානයක් යොමු නොකිරීමයි. ඒ වෙනුවට අඛණ්ඩව සමාජගත වෙමින් තිබෙන්නේ සෝෆා රාක්ෂයෙක් හෝ රට ගිල ගැනීමට මාන බලමින් සිටින බිල්ලෙක් යන මතවාදයයි.

ඇමෙරිකන් හමුදා කඳවුරු ගැන කතා

සෝෆා ගිවිසුම සම්බන්ධ කෙටුම්පත දෙස සරල අවධානයක් යොමු කරන ඕනෑම (අවස්ථාවාදී හෝ අන්තවාදී නොවන) කෙනෙකුට පැහැදිලි පෙනී යන කරුණ වන්නේ එහි අන්තර්ගතය තුළ ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු යුද හමුදා කඳවුරු පිහිටුවීමක් ගැන කිසිදු සඳහනක් නැති බවයි. මේ බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විසින් ද පසුගිය කාලය පුරාම අඛණ්ඩව අවධාරණය කළා.
අනෙක් අතින් දකුණු ආසියානු භූ දේශපාලන යථාර්ථය ගැන අබමල් රේණුවක හෝ වැටහීමක් ඇති කිසිවෙක් ඇමෙරිකානු යුද හමුදා කඳවුරක් ලංකාව තුළ ස්ථාපිත කිරීමේ ඇමෙරිකානු අවශ්‍යතාවක් ගැන සිතනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. ඒ ලංකාව තුළ වඩාත් ප‍්‍රබල හා ක‍්‍රියාකාරී ඉන්දීය – චීන භූ දේශපාලනික වුවමනා එපාකම් ගැන අපිට වඩා ඇමෙරිකාව සංවේදී නිසයි.

ඇමෙරිකාව මුහුණ දෙන අනතුර

සෝෆා ගිවිසුම සම්බන්ධ කෙටුම්පත කෙරෙහි අවධානය යොමු කරන ජාත්‍යන්තර දේශපලන විචාරකයින් කිහිප දෙනකුම මේ ලියුම්කරු සමග පැවසුවේ ඇමෙරිකාව මේ ආකාරයේ ගිවිසුම් 54කට ආසන්න ප‍්‍රමාණයක් ගෝලීය වශයෙන් අත්සන් තබා ඇති බවයි.

‘‘ඇමෙරිකාන මේ ආකාරයේ ගිවිසුම් අත්සන් කරන්නේ (ඇතැම් විට බලකරන්නේ) අද ඇමෙරිකාව ගෝලීය වශයෙන් මුහුණ දී සිටින අනතුර නිසයි. විශේෂයෙන් ම වර්තමාන ඇමෙරිකාව ගෝලීය වශයෙන් දැවැන්ත හුදකලාභාවයකට ලක්ව සිටිනවා පමණක් නොවෙයි ඔවුන් ඉස්ලාම් අන්තවාදීන් ඇතුළු කණ්ඩායම් රැුසක ඍජු ඉලක්කය බවට පත්ව සිටිනවා. ඒ නිසා ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වන ඇමෙරිකානු වත්කම්, සමාගම් සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ගේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය පිළිබඳ සහතිකයක් ඇමෙරිකාවට අද අන් කවරදාටත් වඩා අවශ්‍යවෙලා තිබෙනවා. සෝෆා වැනි ගිවිසුම් මගින් අද ඇමෙරිකාව ක‍්‍රියාත්මක කරන්නේ ඇමෙරිකාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම පිළිබඳ මේ අභියෝගයට මුහුණ දෙන න්‍යාය පත‍්‍රයි. මේ ගිවිසුම් අන්තවාදී සහ බටහිර විරෝධී මානසිකත්වයෙන් බලන කොට ගැටලූකාරී විය හැකියි. ඒත් යථාර්ථය ගැන අපිට වඩා හොඳට දන්නේ ආණ්ඩුකරණයේ මුදුනේ සිටින අය පමණයි. හුදු විවේචකයින්ට හෝ ජනප‍්‍රියවාදීන්ට මේවා වටහා ගන්න අමාරුයි. ඔවුන් බලන්නේ ජනමතය නිර්මාණය වෙන්නේ කොතැන ද එතැනි හිට ගන්න. ඒකට ආණ්ඩුව ද විපක්ෂය ද කියලා වෙනසක් නැහැ. අද ආණ්ඩුවේම ඇතැම් ඇමැතිවරුන්ගේ ක‍්‍රියාකාරීත්වය සහ සෝෆා සම්බන්ධ විවේචන ගැන දකින කොට මේ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා’’ සෝෆා ගිවිසුම ගැන ප‍්‍රකට ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයෙක් දැක්වූවේ එවැනි අදහසක්.

සෝෆා ගිවිසුම පමණක් නොවෙයි ආණ්ඩුවේ අති බහුතරයක් වැඩසටහන් ගැන නිසි පරිදි සන්නිවේදනය කර ගැනීමට නොහැකි වීමේ පොදු දුර්වලතාව ගැන ද ඔවුන් තුළ පවතින්නේ කණස්සල්ලක්.

‘‘ආණ්ඩුව සෝෆා වැනි අති සංකීර්ණ කරුණු ගැන ජනමාධ්‍ය දැනුවත් කිරීමට යොදා ගත යුත්තේ එයැනි ගිවිසුම් ගැන සේම ජාත්‍යන්තර තත්ත්වය ගැන මනා විශ්ලේෂණයක් තිබෙන, ඔවුන් කියන දේ නිවැරදි යැයි ජනතාවට ඒත්තු යන බලවත් චරිත මිස හුදු ඇමතිවරුන්ගේ විවේචකයින් නොවෙයි. ඒත් සෝෆා ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයේදීත් අපි දකින්නේ සරල දේශපාලන කතා සහ විවේචන පමණයි. පසුගිය ආණ්ඩුව කළා, ගෝඨා කළා ඒවා ජනතාවට වැදගත් නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ වර්තමානයේ. ඔවුන්ගේ අත්දැකීම් හා සිතුවිලි අඛණ්ඩව වෙනස් වෙනවා. ඒ ගැන ආණ්ඩුවට දැනීමක් තිබිය යුතුයි. එහෙම වුණොත් සෝෆා, එටිකා පමණක් නොවෙයි නව ව්‍යවස්ථාවට පවා පොදුජන අනුමැතිය ලබා ගැනීම අසීරු නැහැ’’ ඔහු තව දුරටත් පෙන්වා දෙනවා.
ඔහු කියන දේ පැහැදිලි සත්‍යක් බව අපට ඕනෑවටත් වඩා තහවුරු වෙලා තිබෙනවා. දේශපාලන බිල්ලන් සහ බටහිර බිල්ලන් මවමින් එදිනෙදා දේශපාලනයේ යෙදෙන විදෙස් පුරවැසියන් ගැන ජනතාව සංවේදී විය යුතුව තිබෙන්නේ මේ එරෙහිවීම් පිටුපස ඇති සැබෑ දේශපාලන අභිලාෂයන් අපි හිතන තරම් පිවිතුරු නැති නිසයි.

Recommended For You

About the Author: Editor