තීක්ෂණගේ සතියේ විදෙස් පුවත් විමසුම: ‘දියයට කචල්කාරයාට’ සිදු වූ අනපේක්ෂිත විපත/සම්ප‍්‍රදාය බිඳිමින් තුටුවන ජනපති

මේ සතියේ ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි අවධානය දිනාගත ප‍්‍රමුඛ සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඒ අතර ඇමෙරිකානු නිදහස් දිනය සමරමින් ට‍්‍රම්ප් කළ වෙනස, වැඩි පිරිසක් උනන්දු නොවුණත් රුසියාවේ න්‍යෂ්ටික සබ්මැරීන් අනතුර සහ මහා බි‍්‍රතාන්‍ය රාජකීව නාවුක හමුදාව විසින් ඉරානයේ සිට සිරියාවට ඉන්ධන ප‍්‍රවාහනය කළ දැවැන්ත නැවක් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමුඛයි.

‘‘දියයට කචල්කාරයාට’’ සිදු වූ අනපේක්ෂිත විපත

රුසියාව ලෝක යුද බලවතෙකුගේ තත්ත්වයට ඔසවා තැබීමට එරට සතු අති දැවැන්ත සහ නවීන සබ්මැරීන් එකතුවෙන් ලැබෙන සහාය සුවිශේෂයයි. ඒත් රුසියාවේ සබ්මැරීන් ගැන තියෙන්නේ බියකරු අතීතයක්. විශේෂයෙන් නැවියන් 118 දෙනකුට මරු කැඳවමින් 1990 දී සිදුවූ ‘‘කර්ස්ක්’’ සබ්මැරීනයේ ඛේදවාචකය ඒ අතරින් ප‍්‍රධානයි.

මේ ආකාරයේ දැවැන්ත සබ්මැරීන් අනතුරකට රුසියාව පසුගිය සඳුදා යළි මුහුණ දුන්නා. රුසියාව නොර්වේ සහ ආක්ටික් දූපත් ආශ්‍රිත බැරන්ට් මුහුදේදී රුසියාවට අයත් කුඩා සබ්මැරිනයක හටගත් ගින්නෙන් පළමු පෙළ කපිතාන්වරැ 7 දෙනෙක් ඇතුළු 14 දෙනෙක් වායු විෂ වීමෙන් මිය ගියා. හතර දෙනෙක් සිහි නැතිව අසාධ්‍ය මට්ටමේ සිටි හතර දෙනෙක් රෝහල්ගතව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබනවා.

මියගිය අය අතර එරට ඉහළම සම්මානය වන රැසියානු වීරයා සම්මානයෙන් පුද ලද නිලධාරීන් දෙදෙනෙක් සිටින අතර ඉන් එක් අයෙක් රුසියානු නාවුක හමුදා ප‍්‍රධානියාගේ බෑණන්ඩිය බව ද සඳහන්. අනෙක් නිලධාරියා මුහුද යට මිලිටරි ආයුධ පරීක්ෂාව සඳහා වූ ප්‍රවිණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන රුසියාව කියන්නේ අනතුරට පත් සබ්මැරිනය මුහුදු පර්යේෂණයක නිරත වූ බවයි. එහෙත් රුසියාව එහි ගින්නට හේතුභූත වූ කාරණය එළිදරව් කිරීමෙන් වැළකී සිටිනවා.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වැලිමිදීර් පුටින් බොහෝ සේ කනගාටුවට පත්ව සිටිනවා. මෙය සිය රටටත් හමුදාවටත් සිදුවූ දැඩි හානියක් බවත් මෙම සබ්මැරිනය සාමාන්‍ය එකක් නොවන අතර එහි සිටියේ ඉහළම ප්‍රවීණතාවක් සහිත පිරිසක් බව පුටින් සඳහන් කරනවා.

රුසියාව මේ ආකාරයෙන් විස්සෝප වන විට බටහිරට මෙය රුසියානු යුද මෙහෙයුම් ගැන පැහැදිලි ඉඟි සහ සාක්ෂි සපයා ගන්නට අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

මේ අනතුර ගැන අදහස් පළ කරන බටහිර මාධ්‍ය කියන්නේ ගින්නට හසු වූ මෙම සබ්මැරීනය ගැඹුරු මුහුදු පත්ලේ රහස්‍ය මෙහෙයුමක යෙදී සිටි AS 12 වර්ගයට අයත් එකක් බවයි බටහිර මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. මෙය ලොෂාරික් Losharik, නම් ලද විශාල සබ්මැරිනවල බඳ ආශ්‍රිතව වසන් කර රැගෙන යන කුඩා කඩාකප්පල්කාරී ඔත්තු සේවා මෙහෙයුම් යාත්‍රාවක් බවයි.

අඩි 6100ක් පමණ ගැඹුරු මුහුද යට කටයුතු කිරීමට සමත් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක මෙය ඔත්තු බලන සංවේදක උපකරණ සාගර පතුලේ තැන්පත් කිරීම ඇතුළු රහස්‍ය මෙහෙයුම්වල යෙදෙන්නක් බවයි ඔවුන් කියන්නේ.

මෙවැනි යාත‍්‍රා ගැන පසුගිය කාලය පුරාම සෝදිසියෙන් සහ කණස්සල්ලෙන් සිටි පෙන්ටගනය ‘‘දිය යට කචල් අදින්නා’’ ලෙස මෙම සබ්මැරීන් නම්කර තිබෙනවා.

යුද විශ්ලේෂකයින්ට අනුව මෙම සබ්මැරීන් විශේෂය මාරාන්තික ඒවායි. ගැඹුරු මුහුදු පත්ලේ රහස්‍ය මෙහෙයුම් සඳහා මේවාට ඇති හැකියාව සුවිශේෂයි. ඒවා මගින් මුළු ලොවටම සවන් දිය හැකි අතර ලොව ප්‍රධානතම සන්නිවේදන මාර්ගය වන ‘‘ට්‍රාන්ස් ඇට්ලැන්ටික් ෆයිබර් කේබල්’’ මාර්ගයට අනතුරු පැමිණවීම හෝ අවභාවිත කිරීමේ හැකියාවෙන් ද සන්නද්ධයි.

මෙම සබ්මැරීන් අනතුර රුසියාවට දැවැන්ත පාඩුවක්, ඛේදවාචකයක් වුණත් බටහිරට නම් වෙස්වළාගත් ආශිර්වාදයක් බව පැහැදිලියි.

ලෝක බල අරගලයේ ස්වභාවය එසේ තමයි.

රාහුල් යන්නම යයි: කොන්ග‍්‍රස් නායකත්වයේ විප්ලවීය වෙනසක්

ඇතැම් පුද්ගලයින්ට උරුමයෙන් හෝ කරුමයෙන් බලය ලැබුණත් එම බලය රැුක ගැනීමට වාසනාව හෝ හැකියාව නැති බව ලංකාවේ අපි නම් හොඳින් දන්නා කියන කතාවක්. ඒත් ලෝකේ දිහා හොඳින් බලන විට, විශේෂයෙන්ම පවුල් පාලනය මුල්බැස ගත් දකුණු ආසියානු රටවලත් උරුමයෙන් – කරුමයෙන් බලය ලැබුණත් එය රැුක ගැනීමට වාසනාව නැති දේශපාලනඥයින් අපමණ සංඛ්‍යාවක් සිටිනවා.

දේශපාලන විශ්ලේෂකයින්ට අනුව මේ අය අතරින් ඉහළින්ම සිටින අයෙක් තමයි ‘ගාන්ධි’ උරුමය දෝතින් ගෙන බිහි වූ ඉන්දියාවේ රාහුල් ගාන්ධි. මුත්තා (නේරු) ආච්චි (ඉන්දිරා) තාත්තා (රජිව්) යන තුන් පරපුරක් ඉන්දියාවේ මුල් පුටුව අරා වැජඹුණත් රාවුල්ට ඒ පුටුව ළඟටත් එන්න වාසනාව නැති බව පසුගිය මහ මැතිවරණයෙන් පෙනී ගියා. ඒ කොන්ග‍්‍රසය එම මැතිවරණයෙන් පරාජයට පත් වූ නිසාම පමණක් නෙවෙයි රාවුල්ට තම පාරම්පරික ‘අමති අසුන’ පවා නිළියකට පූජා කිරීමට සිදු වූ නිසයි.

පරාජයේ වගකීම රාහුල් විසින් භාර ගත් අතර ඔහු කොන්ග‍්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කළා. ඒත් මැතිවරණයට පසුදාම ඔහු කොංග්‍රස් කටු ඔටුන්න ගලවා දමන්නට සිතුවද සෝනියා ප්‍රමුඛ ඉහළ කමිටුවක් එයට ඉඩ දුන්නේ නැහැ.

ඒත් තම හැකියාව හා ඇතැම් විට වාසනාව ගැන හොඳ හැටි දැනගත් නිසාදෝ රාහුල් පසුගිය දා කොන්ග‍්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස් වුණා. එය තමන් නායකත්වය දෙන පක්ෂය අඛණ්ඩව පරාජයට පත් වෙමින් සිටියදීත් නායකත්වයේ එල්ලී ගෙන සිටින ලංකාවේ ඇතැම් නායකයින්ට නිසි පාඩමක් බවයි කිව හැකි වන්නේ.

රාහුල් ගෙන් පසු කොන්ග‍්‍රසයේ අනාගත නායකත්වය සඳහා මේ වනවිට යෝජනා වී ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනෙකු වන සුෂිල් කුමාර් ෂින්දේ හා මල්ලිකාර්ජුන් කාර්ගි යන දෙදෙනායි.

මේ දෙදෙනාගෙන් අයෙක් නිශ්චිත වශයෙන් කොන්ග‍්‍රස් නායකත්වයට පත් වීම සමග නේරු, ඉන්දිරා, රජිව්, සෝනියා වශයෙන් දශක කිහිපයක් පැරණි ගාන්ධි පවුලේ උරුමය කොන්ග‍්‍රසයට අහිමි වෙනවා.

මේ සමග කොන්ග‍්‍රසයේ නායකත්වය නේරු – ගාන්ධි පවුලෙන් පිට ගිය අවස්ථා කිහිපයක් ගැන ද ඉන්දීය මාධ්‍ය හෙළි කර තිබෙනවා. ඒ අනුව මීට පෙර අවසන් වරට කොංග්‍රස් පක්ෂ නායකත්වයට පත් වූ නේරු-ගාන්ධි පවුල් නියෝජනය නොකරන තැනැත්තා වූයේ හිටපු අමාත්‍යවරයෙකු වන සීතාරාම් කේස්රීයි. ඔහුට අමතරව නේරු-ගාන්ධි පවුල්වලට සම්බන්ධ නොවන එකම කොංග්‍රස් නායකයා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය නරසිම්හ රාඕ බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. අනපේක්ෂිතව සිදු වූ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඔහු ඉන්දීය අගමැති තනතුරට මෙන්ම කොංග්‍රස් පක්ෂයේ නායකත්වයටද පත් වුණා.

නේරු – ගාන්ධි පවුල් නායකත්වයෙන් කොන්ග‍්‍රසය ගිලිහී යාම සමග තවත් විප්ලවීය වෙනසක් ද පක්ෂ නායකත්වය තුළ සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. ඒ කොංග්‍රස් නායකත්වය සඳහා යෝජනා වී තිබෙන පුද්ගලයන් දෙදෙනාම දාලිත් කුලයට අයත් වීමයි. හින්දු ඉගැන්වීම්වලට අනුව දාලිත් කුලය පහත් කුලයක් ලෙස සැලකෙනවා.

කාශ්මීර හින්දු බ‍්‍රාහ්මණ නායකත්වයක සිට පහත දලිත් නායකත්වයක් දක්වා කොන්ග‍්‍රසය විතැන් වීම ඉන්දීය සමාජය කෙසේ ග‍්‍රහණය කර ගනීද යන්න කාලයාගේ ඇවෑමෙන් විසඳුම් ලැබෙන ප‍්‍රශ්නයක් බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් කියන්නේ.

‘මෝද්ගේ ආකර්ෂණීය හා දැවැන්ත පෞර්ෂය සමග ඔවුන්ට කෙසේ තරග කළ හැකිද යන්න ඇත්තටම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි ඉන්දීය හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක්’ ඉන්දීය දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

ඇමෙරිකානු නිදහස් දින සම්ප‍්‍රදාය කඩමින් ට‍්‍රම්ප් යළි ජනතා උදහසට

රටේ බහුතරයකගේ කැමැත්තෙන් තොරව බලයට පත් වුණ ආණ්ඩුවලට සහ නායකයින්ට පාලනය ගෙන යාම අසීරු බවට ලෝකය පුරාම උදාහරණ තිබෙනවා. දේශපාලන විශ්ලේෂකයින් මේ තත්ත්වය දකින්නේ ‘‘බලයට සුජාතභාවයක් නොමැති ’’ තත්ත්වයක් වශයෙන්. එවැනි පාලකයින් කරන කියන දේ, පනවන නීති හැම දෙයක්ම බැලූ බැල්මට බහුතරයකගේ විරෝධයට ලක්වන්නේ මේ බල සුජාතභාවය පිළිබඳ ගැටලූව නිසයි.

ලංකාවේ වත්මන් ආණ්ඩුව දෙස බලන විට මේ තත්ත්වය අපූරුවට පැහැදිලි කරගත හැකියි.

ලංකාවේ වගේම ඇමෙරිකානුවන් කියන්නේ ඩොනල්ඞ් ට‍්‍රප්ට් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතියක් නිසා බලයට පත් නායකයෙක් බවයි. ඔවුන්ට අනුව ට‍්‍රම්ප්ට බහුතරයක් ඇමෙරිකානුවන්ගේ මනාපය හිමිවෙලා නැහැ. ඒ නිසාම ඔහුගේ නීති, ක‍්‍රියාවන් පිළිගන්න බහුතරයක් ඇමෙරිකානුවෝ සූදානම් නැහැ.

ට‍්‍රම්ප්ගේ වත්මන් ක‍්‍රියාකාරීත්වය විසුම්ව විමසන විටත් ඔහු ක‍්‍රියාකරන්නේ තමන්ට බල සුජාතභාවයක් නැති බව දැන දැනම බව පැහැදිලිව පෙනී යනවා. සම්ප‍්‍රදායන් බිඳිමින්, අත්තනෝමතිකව හුදු ලාබ වැඩ කරන්න ඔහු පෙළෙඹෙන්නෙත් මේ බල සුජාතභාවය නැති නිසයි.

පසුගිය දා නොසිතූ නොවිරූ ලෙස උතුරු කොරියාවට පැන තරුණ නායකයා සමග කඳේ වැටුණු ට‍්‍රම්ප් (කලින් ලියන ලද පිටපතකට අනුව බව පැහැදිලියි) පසුගිය ජූලි 04 වැනිදාත් හොඳ අඩව්වක් ඇල්ලූවා. ඒ වසර සිය ගණනක් පැරණි ඇමෙරිකානු සම්ප‍්‍රදායක් අමු අමුවේ බිඳ දමමින්.

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ කරමින් ඔහුට වුවමනා පරිදි ජූලි 04 වැනිදාට යෙදී තිබූ ඇමෙරිකානු නිදහස් දිනය සැමරීමට ක‍්‍රියා කළා.

ට‍්‍රම්ප් කළ මේ අත්තනෝමතික ක‍්‍රියාව එදා සිට මේ දක්වා අති බහුතරයක් ඇමෙරිකානුවන්ගේ දැඩි විවේචනයටත් කෝපයටත් හේතු වෙලා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය යෙදී තිබෙන්නේ ජූලි 4 වැනිදාටයි. තම නිදහස් දිනය මහත් භක්තියෙන් හා ගෞරවයෙන් සමරණ ඇමෙරිකානුවෝ ඇමෙරිකාවේ ජාතික නිවාඩු දිනයක් ද වන එදින උද්‍යානවලට ගොස් කා බී විනෝදයෙන් සැමරීම තමයි මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය වුණේ. එදින රට පුරා සෑම නිවසකම ජාතික ධජය ද ඔසවන අතර කිසිදු දේශපාලන කටයුත්තක් එදිනට යොදා ගන්නේ නැහැ.

( 1776 වසරේ ජූලි 4 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම සිහිපත් කරමින් මෙලෙස ජාතික දිනය සමරනවා)

ලංකාව ද ඇතුළු බොහෝ රටවල් කරන ආකාරයට ඇමෙරිකාවේ නම් නිදහස් දිනයේදී හමුදා පෙළපාලි කිසිවක් පැවැත්වෙන්නේ නැහැ. එය 1777 සිට සිදුවන සම්ප‍්‍රදායක්.

ඒත් අත්තනෝමතික පාලකයෙක් වන ට‍්‍රම්ප් පසුගිය ජූලි 4 වැනිදා ඒ ශ්‍රේෂ්ඨ සම්ප‍්‍රදාය බිඳ දැම්මා.

මේ ගැන වාර්තාවක් පළ කළ ‘ප‍්‍රංශ පුවත් සේවය’ මෙසේ සඳහන් කළා.

‘‘වොෂින්ටන් අගනුවර මධ්‍යයේ යුද ටැංකි ද, ඉහළ අහසේ ප්‍රහාරක ගුවන් යානා ද, ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කතාවක් ද පැවැත්වෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ‘‘ජීවිත කාලයේ සංදර්ශනය’’ කිරීමට සූදානම් වන බවයි පෙනී යන්නේ’’ එහි සඳහන් වුණා.

ට‍්‍රම්ප්ගේ මේ සංදර්ශනය විදෙස් මාධ්‍යවල ද හාස්‍යයට ලක්වන විට ඇමෙරිකානු ජනාධිපතිවරයා සම්ප්‍රදාය කඩකළ බවට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වුණා. කොලොම්බියානු දිස්ත්‍රික් ආණ්ඩුව ට්‍රම්ප්ගේ නිදහස් දින සැමරුමට මුදල් ලබා නොදෙන බව ප‍්‍රකාශ කළා. ( කොලොම්බියානු දිස්ත‍්‍රික්කය කිසිම ප‍්‍රාන්තයකට අයත් වන්නේ නැහැ)

ට‍්‍රම්ප් මේ තීන්දුවටත් සුපුරුදු උද්දච්ච ස්වරයෙන් පිළිතුරු දුන්නා.

‘‘ජනාධිපතිවරයාට වෙන් කෙරෙන මුදලින් හෝ මම නිදහස් දින සැමරුම් උත්සවය පවත්වනවා’’ ට‍්‍රම්ප් කොලොම්බියානු දිස්ත‍්‍රික් ආණ්ඩුවට ප්‍රතිචාර දක්වමින් පැවසුවා.

‘‘අපගේ නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබෙනවා. ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට අපි ඇමෙරිකාවට ආචාර කරනවා. එය ඉතා විශාලයි. එය ජීවිත කාලයටම වරක් පැවැත්වෙන දැවැන්ත සංදර්ශනයක්. ලෝකයේ විශිෂ්ටතම ආර්ථිකය තිබෙන්නේ අපිට. කිසිදු රටකට අපට වගේ ආර්ථිකයක් නැහැ. ලෝකයේ හොඳම හමුදාව සිටින්නේ අපට. නරකක් නැහැ’’ යැයි ට‍්‍රම්ප් සුපුරුදු ලෙස ට්වීටර් පණිවුඩයකින්ම අවධාරණය කළා.

ට‍්‍රම්ප් මොන මොන කතා කියමින් තම අත්තනෝමතික ක‍්‍රියාව සාධාරණීකරණය කළත් ඇමෙරිකානු ජනතාව ඉන්නේ දැඩි මතකය.

ඇමෙරිකාවේ මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව විශේෂඥයකු හා මහාචාර්යවරයකු වන රිච් හැන්ලී කියන මේ කතාවෙන් එය අවබෝධ වෙනවා.

‘‘නිදහස් දිනය කියන්නේ මිනිස්සු තමන්ගේ වෙනස්කම් පැත්තකින් තියලා එකමුතුව ඉන්න දවසක්. නිදහස් දිනය දවසට මිනිස්සු දේශපාලනය කතා කරන්නේ නැහැ. හැමෝම ඇමෙරිකා ධජය ඔසවනවා. ඊට පස්සේ ජූලි 5 වැනිදා සාමාන්‍ය විදියට වැඩ කරනවා. එහෙත් මේ වසරේදී එම සම්ප්‍රදාය කඩ වී ඇති බවත් නිදහස් දිනය පිටපතකට අනුව සිදුවනවා’’ ඇය කණස්සල්ලෙන් යුතුව කියනවා.

Recommended For You

About the Author: Editor