බෞද්ධ දර්ශනය අතික්‍රමණය කරපු තැනක් තමයි ‘සංසාරේ දඩයක්කාරයා’ කියන්නේ

”අද දවස වන විට සියලු ආගම් ඇතුළේ දරුණු දේශපාලනික ව්‍යසනයක් කරනවා ලෝකයටම. ආගම කියන එක බැහැර කරන්න ඕනේ කියන තැනට ඇවිල්ලා තියෙනවා. බුදුන්, ජේසු, මහම්මද් කියන ශාස්තෘවරුන් කිසිම කෙනෙක් ඔවුන්ගේ දර්ශනවාදයක් ගෙනහැර පෑවාට ඒවා ඇතුළේ මේ කියන දේශපාලනයක් තිබුණේ නෑ ”

ශ‍්‍රී ලාංකේය සිනමාව – වේදිකාව ගැන කතා කරන කොට අපිට ප‍්‍රසන්න පුද්ගලයින් දෙදෙනෙක් හමු වෙනවා. ඒ ප‍්‍රසන්න ෆොන්සේකා සහ ප‍්‍රසන්න ජයකොඩි. මේ දෙන්න ගැනිම කතා ඕන තරම් තියෙනවා. ඒත් මේ කතාව ප‍්‍රසන්න ජයකොඩි ගැන. ප‍්‍රසන්න ජයකොඩි වේදිකාව ජයගත්තේ ‘‘සෙවණැලි සහ මිනිස්සු’’ ආදි නිර්මාණවලින්. පුංචි තිරයේ ‘‘නිසල විල’’ ‘‘ඉමදිය මංකඩ’’ ‘‘සඳ අමාවකයි’’ ‘‘හදවිල සක්මන’’ සාදාතනික නිර්මාණ. ඒ වගේම රිදී තිරයේ ‘‘සංඛාරා’’ ‘‘කර්ම’’ ප‍්‍රසන්නගේ නාමය සදාතනික කළා.

මේ ඔහුගේ අලූත්ම සිනමා සිත්තම ගැන.

හරවත් සුභාවිත කලාවක් වෙනුවෙන් වේදිකාවෙත් රිදී තිරයෙත් පුංචි තිරයෙත් දස්කම් දැක්වූ ප‍්‍රසන්න ජයකොඩිගේ අලුත්ම සිනමා නිර්මාණය ‘‘සංසාරේ දඩයක්කාරයා’’ පසුගිය 04 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත වීම ආරම්භ වුණා.

ප‍්‍රවීන ලේඛක සයිමන් නවගත්තේගම මහතාගේ ප‍්‍රකට මෙන්ම ආන්දෝලනාත්මක නවකතාවක් තමයි ප‍්‍රසන්න මෙවර තම විෂය පථයට ඇතුළත් කර ගෙන තිබෙන්නේ.

ප‍්‍රසන්න, ඔබ ඔබගේ අලූත්ම සිනමා පටයට සයිමන් නවගත්තේගමගේ නව කතාවක් යොදා ගෙන තිබෙනවා. මමත් ඒක කියවා රස විඳ තිබෙනවා. ඒත් ඒක සිනමා පටයක් වුණා කියලා මට නම් හිතා ගන්නත් බැහැ. ඒ ගැන කතා කරලම මේ කතාව ආරම්භ කරමුද ?

ප‍්‍රසන්න ජයකොඩි

මම හඳුනා ගෙන තියෙන විදිහට ලංකාවේ සාහිත්‍යකරුවන් අතරින් සයිමන් නවගත්තේගම ලොක්කා තමයි පොළොවෙන් උපන් කෘතියක් වෙන ඒවාට සම්මිශ්‍රණය නොවී අප අතරට ගේන්නේ. ඒවාට වෙන වෙන තර්ක දේශපාලන විග්‍රහ තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් කවුරු මොනවා කිව්වත් ඔහුගේ කෘති මේ පොළොවෙන් උපන් බීජවලින් එන්නේ. එයින් හැදෙන විචිත්‍ර භාෂාවන් එක්ක විචිත්‍ර රූප රචනයක් ඔහු ළඟ තිබෙනවා. ඒක හරි සංකීර්ණයි. සයිමන් ලොක්කාගේ ‘‘දඩයක්කාරයාගේ කතාව’’ කෘතිය තුළ චිත්‍රපට 10කට විතර දේවල් තිබෙනවා. මේ පොතෙන් ෆිල්ම් එකක් කරන්න නොවෙයි වෙන්නේ සීරියස් එකක් කරන්නයි. මම සයිමන් ලොක්කාගේ සියලුම පොත්පත් හෙමින් සීරුවේ කාලයක් තිස්සේ කියවලා තිබෙනවා. අවසානයේ දී මම තෝරාගත්තේ මේ පොතේ එක පරිච්ඡේදයක් පමණයි. ඒ පරිච්ඡේදය අරගත්තාම එක දෙබසක්වත් තිබුණේ නෑ. ඒ පරිච්ඡේදය මා විස්තාරණය කළා මගේ නිර්මාණය දක්වා. ඒක මගේ දෘෂ්ටියෙන් මම විස්සාරණය කළා. ඒක ඇතුළේ සයිමන් ලොක්කා දැකපු ලෝකය වගේම ඔහුගේ පොත් ටිකෙත් මම කියවා ගත්ත රූප ටිකල අරක තුළින් දකින්න පටන් ගත්ත පොඩි සංකෂිප්තයක් විතරයි. මා හිතන්නේ එයාගේ එක පොඩි මයිල් ගහක් ගලවාගෙන එය කීතු කීතුවලට කඩලා තමයි මේ වැඬේ කළේ. එහෙම නැතුව සයිමන් කියවා ගැනීම නොවෙයි මෙයින් මා කළේ.

මේ චිත‍්‍රපයට හරහා අපිට අලූතින් අවබෝධකර ගන්න, හිතන්න යමක් තියෙනවා කියලා ඔබ හිතනවාද ?

ඒක වෙනම කියවන්න ඕනෑ දෙයක්. අපි දන්නවා පසුගිය වකවානුවේ සිදු වූ දේවල් හා මේ දේශපාලනික රාමු අස්සේ මිනිසුන්ට කිසිම දෙයක් ඔලුවට යන ස්වාභාවයක් නොවෙයි තිබෙන්නේ. හැබැයි අපි වෘත්තීය වශයෙන් කලාකරුවෝ සහ වෘත්තීය වශයෙන් මෙහි නියැළෙන්නෝ. මේ චිත්‍රපටය අද දවසේ දී අතිශය වැදගත් කියා මා සිතනවා. වැරැදිලා හෝ මේ අවස්ථාවේ රිලීස් වෙන එක වැදගත් බවයි මම හිතන්නේ. අපි ප්ලෑන් කරන්නේ නැතුව මේ වගේ වාතාවරණයක රිලීස් වෙන එක ඉතා සතුටට කරුණක්. මොකද අද වන විට මේ චිත්‍රපටය කාලීනයි. අද දවස වන විට සියලු ආගම් ඇතුළේ දරුණු දේශපාලනික ව්‍යසනයක් කරනවා ලෝකයටම. ආගම කියන එක බැහැර කරන්න ඕනේ කියන තැනට ඇවිල්ලා තියෙනවා. බුදුන්, ජේසු, මහම්මද් කියන ශාස්තෘවරුන් කිසිම කෙනෙක් ඔවුන්ගේ දර්ශනවාදයක් ගෙනහැර පෑවාට ඒවා ඇතුළේ මේ කියන දේශපාලනයක් තිබුණේ නෑ. ඒ දර්ශනය අරගෙන මේ අයගේ දේශපාලන වුවමනාවට දඩමීමා කරගෙන, ඒවායින් මිනිසුන්ගේ ලස්සනට ආධ්‍යාත්මයේ බඩ බොකුවලින් අල්ලා පාලනය කරනවා. මිනිසුන්ට එයින් ගැළවෙන්න බැහැ. නීතියෙන් ගැලවුණත් ආගමේ දේශපාලනයෙන් ගැළවෙන්න නැහැ. එය ඔවුන්ගේ ආත්මයම අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීම හරි දරුණුයි. ඒක ඛේදවාචකයක් ඒ වෙනුවෙන් මිනිස්සු ආධ්‍යාත්මයෙන්ම බැඳෙනවා. හරි වැරැද්ද නොතකා ආධ්‍යාත්මයෙන්ම බැඳෙනවා. පසුගිය වකවානුවේ අපි ඒ දේ දැක්කා. ආගමික නායකයෝ දේශපාලනඥයෝ වෙනවා. ඒ අය දේශන දෙන්න පටන් ගන්නවා. මේක හරි අර්බුදකාරියි. මේ අර්බුදකාරී තැනකට අරන් ඇවිල්ලා තිබෙන්නේ වෙනින් කවුරුවත් නොවෙයි ආගමේ දැනට ඉන්න දේශපාලනඥයෝ. මේ කාරණයට හොඳම කාලීන පිළිතුරක් තමයි ‘‘සංසාරේ දඩයක්කාරයා’’ චිත්‍රපටය.

ඔබ අතින් නිර්මාණය වන චිත්‍රපට වගේම ටෙලිනාට්‍යල බෞද්ධ දර්ශනයත් එක්ක බැඳී පවතින බවත් අපි දකිනවා. එහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබෙනවා ද ? ඇයි ආගමික තේමාවයන්ටම මේ තරම් බරක් යොදන්නේ ?

මට ඒක මෙහෙම විස්තර කරන්න පුළුවන්. මම බොහෝ විට දාර්ශනික මතයක් එක්ක තමයි ඉන්නේ. මම පොඞ්ඩක් දාර්ශනික පැත්තට බර හාදයෙක්. නමුත් බහුතරයක් ඉන්නේ දේශපාලනික දැක්මක් එක්කයි. ඒක අස්සේ ඕනෑම මනුස්සයකුටල එයාට තිබෙනවා එයාගේ සම්භවයත් එක්ක තිබෙන ගනුදෙනු ටිකක්. අපි උපන්නේ බෞද්ධ පරිසරයක් ඇතුළේ. ආගම නොවෙයි. එතනින් එහාට තිබෙන පැත්තක් තමයි මම මෙතනින් ගේන්නේ. ආගම්වල කෙරෙන්නේ මනුස්සයා දඩයම් කරන එකයි. කැලේ ඉන්න දඩයක්කාරයා සත්තු දඩයම් කරනවා. මේ දඩයක්කාරයෝ දෙන්නා අතර තිබෙන සංවාදයක් තමයි මම මේ චිත්‍රපටයෙන් ගේන්නේ. සොබා දහමයි – ආගම් දහමයි දෙක අතර තිබෙන ද්වන්ධයක් මේ ඇතුළේ තිබෙන්නේ.

ඔව්, ඔබ කියන ආකාරයට, දකින ආකාරයට මෙහි බෞද්ධ දෘෂ්ටිය තිබෙනවා තමයි. අද වන විට බුදුන් වහන්සේ දෙසූ දේ නොවෙයි පන්සලේ තිබෙන්නේ. දේශපාලනික රාමුවක් ඔස්සේ හදාගත්ත අවශ්‍යතා ටිකක් එහි තිබෙන්නේ. දඩයක්කාරයා කියනවා ‘‘පෝයට බණ කියන්න එපා හාමුදුරුවනේ කොටියා මිනිසුන් මරයි කියලා’’ හාමුදුරුවෝ කියනවා ‘‘කැලේ ඉන්න තිරිසනෙක් හින්දා පෝයට බණ කියන එක නවත්වන්න පුළුවන් ද කියලා’’ එතනම වැටහෙනවා නේ ද ආගමික දේශපාලනයක් කියලා. දඩයක්කාරයාට යම් කිසි නීති මාලාවක් තිබෙනවා\ චර්යා ධර්ම ටිකක් තිබෙනවා. ඒවා කඩලා තමයි ඔහුට සිද්ධ වෙනවා අර ජීවිත වෙනුවෙන් සතා මරන්න. කවදාවත් දඩයක්කාරයෙක් අනවශ්‍ය ප්‍රයෝජනයකට සතෙක් මරන්නේ නෑ. නමුත් මේ වෙලාවේ මේ කාරණය නිසා සිද්ධවෙනවා සතා මරන්න. මිනිහා පව් කියලා හිතන තැන එදා තමයි සිද්ධ කරන්නේ, එතකම් මිනිහා පව් සිද්ධ කරගෙන නෑ සත්තු මැරුවාට. මෙතනින් එහාට ගිය සොබාදහමේ චින්තාවක් ඇතුළට ගේන්න අවශ්‍යයි කියලයි මම කියන්නේ.

ථෙරවාදී බෞද්ධ දර්ශනය හා මහායානික බෞද්ධ දර්ශනය අතර සම්මිශ්‍රණයකින් එහාට ගිය ස්වාභාවයක් සයිමන් නවගත්තේගම මහත්මයාගේ තිබෙනවා. ඒ දෘෂ්ටිය හරහා වෙන වෙන තැන්වලට ඔහු ගමන් කරනවා. සොබා දහම පුදුම විදියට ඔහු ගරුකොට ගන්නවා. ඒක ඇතුළේ තමයි මම මේ කියන දේවල් දකින්න තිබෙන්නේ. බෞද්ධ දර්ශනය අතික්‍රමණය කරපු තැනක් තමයි මෙහි තිබෙන්නේ.

සංවාද සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor