රටට නොගැළපෙන කිසිදු විදේශීය ගිවිසුමකට මගේ නිල කාලය තුළ අත්සන් තැබීමට ඉඩ දෙන්නෙම නෑ – ජනපති

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපතිමෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

රට පාවා දෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතිය ද රටට හානි වන සහ රටට නොගැළපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපති කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට දේශපාලන භේදයකින් තොරව රටේ ප‍්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවයි.

එහි ප‍්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිංසක දරුවන්ට අත්විඳීමට සිදුවනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කුමන ආකාරයෙන් පෙනී සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අද අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටට සිදුව ඇති විනාශය සුළු කොට තැකිය නොහැකි අතර මත්ද්‍රව්‍ය උවදුර ජාතික ඛේදවාචකයක් දක්වා අද ඔඩු දුවා ඇත්තේ මෙතෙක් රටේ බලයට පත්වූ කිසිදු රජයක් තම දේශපාලන අරමුණු හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සටන අතට නොගත් නිසා බව ද කියා සිටියේය. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමා ගෙන යන ප‍්‍රබල සටන හේතුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ පැහැදිලි පසුබෑමක් දක්නට ලැබෙන බව ද ජනාධිපති සඳහන් කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ පොදු අරමුණු වෙනුවෙන් දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද එකට සිටිය යුතු අතර, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෙදී වෙන් වුවහොත් සමස්ත ජාතියම විනාශයට පත්වන බවයි.

Recommended For You

About the Author: Editor