නැගෙනහිර පළාත කලාපීය ආර්ථිකයට විවෘත විය යුත්තේ ඇයි? – පාඨලී චම්පික රණවක

ජාති ආගම් භේදයකින් තොරව මේ තියෙන ක්‍රමය ඇතුළේ හැදුනු දේශපාලකයෝ බලන්නේ තමන්ගේ ගමට මොකක් හරි කරන්න

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අම්පාර පැවැති ජාතික මග සමුළුවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද අපේ ලංකාව ගත්තාම හැම අතින්ම දියුණුවෙලා තියෙන්නේ බස්නාහිර පළාත. අද ලෝක බලවතා වෙන ඇමරිකාව ගත්තාම ඉස්සර ඒ අයගෙ දියුණු වෙලා තිබුනෙ නිව්යෝර්ක්, වොෂින්ටන් ආදී වශයෙන් ඒ නැගෙනහිර වෙරළ විතරයි. ඒකට හේතුව වුනේ ඒ කාලේ යුරෝපය සමග පමණක් ගණුදෙනු කිරීමයි.

නමුත් අද ඇමරිකාවේ දියුණුම කලාපය බටහිර වෙරළ තීරය. ගූගල්, ෆේස්බුක් වගේ අපි දන්න කියන දැවැන්තයන් වගේම අද තිබෙන මහා සමාගම් සේරම පිහිටලා තියෙන්නේ මේ බටහිර වෙරළ තීරයේ. හේතුව ඒ බටහිර වෙරළ තීරය ඔවුන් විවර කරලා තියෙනවා පැසිපික් සාගරයෙන්, චීනයට, තායිවානයට, ජපානයට ඒ වගේම කොරියාවට.

අපි ගමු අපේ ලංකාවේ නැගෙනහිර පළාත. අපේ ත්‍රිකුණාමලය, මඩකලපුව කලාප විද්‍යාත්මකව සැලසුම් සහගතව විවෘත කරා නම් චීනයේ කුන් මින් පළාතේ ආර්ථිකයට  වගේම බංගලිදේශයේ, තායිලන්තයේ, ලාඕසයේ, වියට්නාමයේ ආර්ථික ක්‍රියාදාමයට, අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත අභිබවා මේ පළාත දියුණුවෙලා බලවත් වෙනවා. නමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත්, අපේ නැගෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ ? කලාපීය හෝ ලෝක ආර්ථිකයත් එක්ක බැඳුණු, රටට රටේ ජනතාවට ශක්තියක් වෙන විදිහේ ආර්ථිකයක් එතැන තියෙනවද? නැහැ.

ඇයි බස්නාහිර පළාත පහුකරන් ඉදිරියට යන්න පුළුවන් කියන්න හේතුව ලෝකයේ දියුණුම කලාපයන්, විශාලතම නව ආර්ථිකයන් තිබෙන්නේ ඒ පැත්තේ. හැබැයි අපි ඒක කරනවාද? නැහැ.

ජාති ආගම් භේදයකින් තොරව මේ තියෙන ක්‍රමය ඇතුළේ හැදුනු දේශපාලකයෝ බලන්නේ තමන්ගේ ගමට මොකක් හරි කරන්න. අධ්‍යාපන ඇමති නම් ඒ ගමේ ලොකු ඉස්කෝලේ හදන්න. විශ්ව විද්‍යාල ඇමති නම් ගෙමේ විශ්ව විද්‍යාලයක් දාන්න. වරාය ඇමති, කර්මාන්ත ඇමති, මේ හැමෝම බලන්නේ තමන්ගේ ගමට ගේන්න. නමුත් ඒක විද්‍යාත්මකව රටේ අනාගතයට වැඩක් වෙන විදිහට අවශ්‍යතාවය මත ඒක ගොඩනගන්න නෙමෙයි.

නැගෙනහිර කලාපයේ දෙමළ ජනතාව ගත්තාහම අවසාන වශයෙන් ප‍්‍රධාන දේශපාලනඥයෙකුට හිටියේ ජී.ජී. පොන්නම්බලම් සහ දේවනායගම් විතරයි. ඊට පස්සේ කිසිම දේශපාලනඥයෙක් ප‍්‍රධාන දේශපාලන දහරාවේ ආණ්ඩුව නියෝජනය කරලා නැහැ.

දෙමළ ප‍්‍රදේශවලට කර්මාන්ත නැහැ. දෙමළ ප‍්‍රදේශවලට වරාය, ගුවන්තොටුපල, රැකියා කිසි දෙයක් නැහැ. ඒක තමයි අද වෙලා තිබෙන්නේ. අද ඒක නිසා මිනිස්සු අපා දුක් විඳින තත්වයකට ඒ ප‍්‍රදේශ පත් වෙලා තිබෙනවා. නමුත් විද්‍යාත්මක ක‍්‍රමයකට මේ රට ආණ්ඩු කළා නම් එහෙම අවිධිමත් භාවයක් ඇතිවෙන්න හේතුවක් නැහැ.

ඒනිසා මේ රට ඉදිරියට ගෙනයනවා නම්, බස්නාහිර පළාත කලාපීය හා ලෝක ආර්ථිකයට විවෘත කලා වගේ නැගෙනහිර වෙරළ නයාරු කෝකිලායි වල ඉඳන් පානම දක්වා අපි විවෘත කරන්න ඕනේ ලෝකයේ බලගතුම ආර්ථික කලාපය ගොඩනගාගන්න. එහෙම විවෘත කළොතින් මේ කලාපය වහාම ප‍්‍රබෝධමත් කරලා අපට ගොඩනගාගන්න පුළුවන් රටටම ශක්තියක් වෙන්න.

ඇත්තටම මේ අම්පාර එදා විමලධර්මසූරිය රජතුමාගේ සැලසුමක් තිබුණ ලංන්දේසීන් සමග එකතුවෙලා මේ පළාතේ කුරුඳු වගාකරලා වෙළෙඳාම දියුණු කරන්න. අවාසනාවන්ත සිදුවීමක් නිසා එය කරන්න බැරි උනා. එහෙම උනා නම් ඒ පැවැත්ම පැවතිලා අදටත් බස්නාහිර නෙමෙයි වෙළෙඳ ව්‍යාපාරවලින් ඉදිරියට ඉන්නෙ මඩකලපුවත්, ත්‍රිකුණාමලයත් ඇතුළු කලාපය යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor