අපේ ඥාන කතා සහ රෝහිත් ෂර්මාගේ ඇත්ත කතා

ශ‍්‍රී ලංකාව ලෝක කුසලානයට ගියේම එතරම් තෘප්තිමත් හැඟීමකින් නොවෙයි. ලෝක කුසලානයට සහභාගී වන සංචිතය තෝරා ගැනීම, නායකයා තෝරා ගැනීම ආදි ගැටලූ රැසකට මුහුණ දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය අවසානයේ කොහොම හරි කණ්ඩායම ගැටගසා ගත්තා. නායකයෙකුත් පත්කරලා දුන්නා.

මේ අතරේ තමයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය ආවේ. ‘‘කොරේ පිටට මරේ’’ කිව්වා වාගේ ලෝක කුසලානට කරන පුහුණු වීම් මේ සමග බිඳ වැටුණා. ආරක්ෂාව ගැන සැක සාංකා ඇති ඇති වුණා.

ඔන්න ඉතිං ලංකාව කොහොම කොහොම හරි එංගලන්තයටත් ගියා. පුහුණු තරගවලිනුත් අපේක්ෂිත ජයග‍්‍රහණ ලබා ගන්න බැරි වුණා. වසර කිහිපයක් පුරා කණ්ඩායම මුහුණදී සිටි අටඅනූවක් ව්‍යාධි යස අපූරුවට එංගලන්තයේදී එළියට පැන්නා.

මහත් බලාපොරොත්තු තබාගෙන සිටි දිමුත් කරුණාරත්න තරගාවලිය පුරාම සාර්ථක පිතිකරණයක යෙදෙනු ඇතැයි විශ්වාස කළත් ඒක සිද්ධ වුණේ ‘අවාරෙට කජු වැටෙන්නා වාගේ ’’ ඉඳ හිට. තීරණාත්මක කිසිම තරගයකදී දිමුත්ගේ පිත්ත වැඩ කළේ නැහැ.

අවිශ්ක ගුණවර්ධන, ඇන්ජිලෝ මැතිව් ගැනත් ඊට එහා කතා නැහැ. පළමු වටයේ තරග 09 පුරාම අවම සාර්ථකත්වයක් හෝ පෙන්නූ පිතිකරුවෙත් ලංකාවට හිටියේ නැහැ.

පිත්ත වැඩ නොකළ නිසා බොහෝ තරගවල බර පන්දුවට පැවරුණා. ලංකාව අසීරුවෙන් ජයගත් (ඇත්තටම එංගලන්තය පහසුවෙන් පරාජය වූ) එංගලන්තයට එරෙහි තරය මීට හොඳ උදාහරණයක්. ඒත් අපේ පන්දුවත් අවශ්‍ය වේලාවට වැඩ කළේ නැහැ. ඉන්දියාවට එරෙහි තරගයේදී මාලිංග මුහුණ දුන් බිහිසුණු ඉරණම ඊට කදිම උදාහරණයක්.

මේ සියලූ අසාර්ථක වීම් නිසා තමයි ලංකාවට 9/3ක් ලෙස පළමු වටය අවසන් කරන්න සිද්ධ වුණේ. වර්ෂාවට සේදී ගිය තරග දෙක (පාකිස්ථානය සහ බංග්ලාදේශය) වෙනුවෙන් ලැබුණු ‘වැහි ලකුණු 02 නොතිබුණා නම් ලංකාව ප‍්‍රසාල ලකුණු සටහනේ 08-09 තැන තමයි හිමිකර ගන්නේ.

පාකිස්ථානයට ගෙදර යන්න වුණේ ලංකාව නිසා ද ?

මේක ක‍්‍රීඩා විචාරකයින් කියන කතාවක් නෙමෙයි, ක‍්‍රීඩා වාර්තාකාරයෙක්ට නිකං හිතෙන කතාවක්. ඇත්තටම ලියුම්කරුට හිතෙන්නේ ලංකාව සහ පාකිස්ථානය අතර තරගය වැස්සට සේදී නොගියා නම් ඒ තරගයෙන් පාකිස්ථානය ජයග‍්‍රහණය කරනු ඇති බවයි. ඒකට සාධක ඕන තරම් තිබුණා. එහෙම වුණා නම් ලෝක කුසලානය අවසන් පූර්ව වටයට සම ප‍්‍රසාද ලකුණු ලබාගෙන දළ ලකුණු වේගය අනුව ඉදිරියට ගිය නවසීලන්තය වෙනුවට පාකිස්ථානයට අවස්ථාව හිමිවෙන්න තිබුණා.

එහෙනම් අපි අවසන් පූර්ව වටයේදී දකින්නේ අංක 01 ඉන්දියාව සහ අංක 04 පාකිස්ථානය අතර වර්ණවත් වගේම එකිනෙකාගේ ගරුත්වය සඳහා කෙරෙන සංග‍්‍රාමයක්. ඒක එහෙම වුණා නම් අවසන් පූර්ව වටයට මීට වඩා පේ‍්‍රක්ෂක ආකර්ශනයක් වගේම වටිනාකමකුත් ලැබෙන්න තිබුණා.

දැන් සුද්දෝ තුන්දෙනෙක් එක්ක තනි ඉන්දියාවට සටන් කරන්න සිදු වෙලා.

ඇත්තටම මේක වුණේ වැහි දෙවියෝ නිසාදෝ කියලා හිතෙන කොට පොඩි දුකකුත් ඇති වෙනවා.

ඉන්දියාව සහ රෝහිත් ෂර්මා

ඉන්දියාවට ක‍්‍රිකට් කියන්නේ ආගමක්. ඒක අද ඊයේ ඇති වුණ තත්ත්වයක් නොවෙයි, අපි දන්න කියන 80 -90 දශකවල සිටි තිබුණ තත්ත්වයක්. සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ශ‍්‍රීකාන්ත්, මොහොමඞ් අසුර්ඞීන්, වැනි පුරාවෘත්ත වගේම, සචින් තෙන්ඩුර්කාර් වැනි සුපර් ස්ටාර් චරිතවලින් අපේ අසල්වැසියා පොහොසත්.

මෙවර ලෝක කුසලානය දිහා බලන කොටත් වර්ණවත්ම, ආකර්ෂණීයම කණ්ඩායම බවට ඉන්දියාව අභියෝගයකින්, තරගයකින් තොරව පත් වුණා. රෝහිත් ෂර්මා, චිරාත් කෝලි ඒ අතර ප‍්‍රමුඛ වුණා.

මේ අතරින් ලෝක ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ගේ අවධානය වැඩියෙන්ම දිනා ගත්තේ රෝහිත් ෂර්මා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔහු වාර්තා පිට වාර්තා තබමින් ඉන්දීය අභිමානය ඉහළටම ඔසවා තැබුවා.

ඇත්ත රෝහිත් කළ දේ වගේම කියන දේත් අපිට, අපේ ක‍්‍රීඩකයින්ට පාඩම් පොතක් වාගේ.

‘‘අපි එංගලන්තයට ආවේ ලෝක කුසලානය අරං යන්න… මෙහෙයුම තවම ඉවර නෑ…’’මේ කතාව හුදු පම්පෝරි කතාවක් කියලා කාට වුණත් හිතෙන්න පුළුවන්. මොකද අපි මේ වාගේ ඊනියා පුරාජේරු කතා පසුගිය සති කිහිපය පුරා ඇති තරම් ඇහුවා.

ඒත් ඉහත සඳහන් කතාව කිව්වේ ඉන්දියාවේ සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා නම්, ඒ ගැන කතා දෙකක් නැහැ. වැඬේ තිතට සිදුවන බව සහතිකයි.

වාර්තා පිට වාර්තා

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති තරගය ශ‍්‍රී ලංකාවට එතරම් වැදගත් නොවුණත් (අවසන් පූර්ව වටයට යාමට) ඒක ඉන්දියාවට අතිෂය වැදගත් වුණා. ඒ ප‍්‍රසාද ලකුණු සටහනේ අංක 01ක බවට පත්වීමට. ඒක ඒ ආකාරයෙන්ම සිදු වුණා.

මේ ජයග‍්‍රාහී තරගයේ නිමුවා වුණේ රෝහිත්. ඔහු තරගයෙන් පසු මාධ්‍ය හමුවේ මහත් අභිමානයෙන් මෙහෙම කිව්වා,

‘‘මම ආවේ වාර්තා තියන්න නෙවෙයි, මම ආවේ සෙල්ලම් කරන්න, කුසලානය මගේ රටට අරගෙන යන්න. අපි හොඳ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. අපි නිතරම හිතන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලයි. කණ්ඩායම් රැස්වීම්වලදී පවා අපි කතා කරන්නේ වාර්තා ගැන නෙවෙයි රට වෙනුවෙන් තරග දිනාගැනීම ගැනයි. කොච්චර එක්දින තරග සෙල්ලම් කරලා තියෙනවද ? කොච්චර ලකුණු රැස් කරලා තියෙනවද ? කියන ඒවා ගැන මම හිතන්න යන්නෙ නෑ. හැම තරගයක්ම අපිට අලුත් තරගයක්. අපිට රට වෙනුවෙන් රාජකාරියක් පැවැරිලා තියෙනවා. අපි ඒ රාජකාරිය කරනවා. ඒක තමයි වැදගත්ම දේ ’’ රෝහිත් සුපුරුදු අභිමනාවත් ඉන්දියානු ස්වරයෙන් කිව්වා.

මෙවැනි කතාවක් රෝහිත් වැනි ක‍්‍රීඩකයෙක්ට මිස වෙනස කිසිම ක‍්‍රීඩකයෙක්ට කරන්න බැරි බව සහතිකයි. ඒ රෝහිත් වචනවලින් කිව්වා වාගේම පිත්තෙනුත් ඒක ඔප්පු කරලා පෙන්නුව නිසයි.

රෝහිත් බිඳ දැමූ / සම කළ වාර්තා

රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා පිලට එරෙහිව ලැබූ ශතකයත් සමග ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තනි තරගමාලාවක ශතක 5ක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත් වුණා. (ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 2015 දී කුමාර් සංගක්කාර ශතක 4ක් රැස් කරමින් තැබූ ලෝක කුසලාන තරගමාලා වාර්තාව වීම ලංකාවේ අපිට නම් දුක හිතෙන කතාවක්)

රෝහිත් ෂර්මාගේ මේ අසමසම වාර්තා ගොන්නට එක්වූ තවත් වාර්තාවක් වන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභියාගේ සම වාර්තාවත් ඔහු සතුවීමයි. ඊට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ තවත් සුපිරි ඉන්දියානුවෙක් වන සචින් තෙන්ඩුල්කර්. ඔහු ලෝක කුසලාන තරග 45කදී ශතක 6ක් රැස් කිරීමට සමත්වූ අතර දැන් ෂර්මා ලෝක කුසලාන තරග 16කදී ශතක 6ක් ලබා එම වාර්තාව සම කර තිබෙනවා. (ඉන්දියාව හමුවේ තව එක් අනිවාර්ය තරගයක් ද (අවසන් පූර්ව) බොහෝ විට අවසන් වටයේ තව තරගයක් ද තිබෙනවා. ඒ අනුව මෙම ලෝක කුසලානයේදීම රෝහිත් වැඩිම ශතකලාභියා වීමට පුළුවන්)

ලෝක කුසලාන තනි තරගමාලාවක වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වීමට රෝහිත්ට අවශ්‍ය තවත් ලකුණු 26ක් පමණයි. (එම වාර්තාවට හිමිකම් කියන සචින් තෙන්ඩුල්කර් 2003 තරගමාලාවේදී එම වාර්තාව තැබුවේ තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 673ක් රැස් කරමිනුයි. රෝහිත් ෂර්මා දැනට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 647ක්. රෝහිත් ඉදිරි තරග 1 හෝ 2දී මෙම වාර්තාවත් බිඳ දමන බව සහතිකයි)

දැන් යළිත්, ‘‘මම ආවේ වාර්තා තියන්න නෙවෙයි, මම ආවේ සෙල්ලම් කරන්න, කුසලානය මගේ රටට අරගෙන යන්න’’ මෙහෙම සිංහනාද කරන්න පුළුවන් වෙන කිසිවෙක් මේ මොහොතේ ක‍්‍රීකට් පිටිය තුළ ඉන්නවාද රෝහිත් ෂර්මා හැරෙන්නට.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor